නිවීමේ පණිවිඩය රැගත්… 58

දහම් පදය
“ යමෙක් යමෙකුට යුතුකම් කරයිද, එයත් අත්හැරීමකි. යුතුකමක් කොට.
යමෙක් යමෙකුට උපකාර කරයිද, එයත් අත්හැරීමකි. උපකාර කොට.“
උවටැන් ෴
යුතුකමටත් අත්හැරීමක්
යමෙක් යුතුකම් කරන කල යුතුකම වෙනුවෙන් බොහෝ දේ අත්හරින්නේද,
යුතුකම් ලෙසත් සිද්ධ වී ඇත්තේ ඊ අය වෙනුවෙන් අත්හරින්න තවත් අවස්ථාවක් ලැබීමය.
උපකාර කරන්නා උපකාර කරන කල, උපකාර ලෙසත් කරන්නේ තවත් අත්හැරීමක් නොවේද?
රැකියාවන් අඹුදරු පෝෂණය උදෙසා නම්, වැටුපත් ඉපයීමත් ඒ අය වෙනුවෙන් අත්හැරීමක් බව නොදන්නෙහිද?
වැටුපේ අයිතිය ඇත්තේ ඔබට නොව, අඹුදරුවන්ට.
පිහිටවන්නා පිහිටවන කල පිහිට වීමෙන් කරන්නෙත් තම සන්තකය අසරණයා වෙනුවෙන් අත්හැරීමක් බව පැවසුවොත් පිළිගන්නෙහිද?
ඉවසන්නා ඉවසන කල ඉවසීමෙන් කරන්නේ අසංවරයා වෙනුවෙන් කෝපය පළිගැනීම හිංසාකිරීම අත්හැරීමක් නොවන බව තවම දැන නොසිටියේ මන්ද?
රියදුරා රිය පදවන කල
අසිහිය
අලසකම
නිදිමත
නොසැලකිලිමත්කම
අසංවරය
කලබලය
මගියාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් අත්හරින බව ඔබ දැන සිටියේ නැද්ද?
ඒ දේවල් අත්නොහළ රිය අදටත් අනතුරුවලය.
රෝගියා රෝගාතුරව, ඔත්පළව, තම අකුසළය ගෙවා නිමකර ගන්නට, නිවනට ලංවෙන්න තම
නිරෝගිකම
සනීපය
විවේකය
සෞඛ්‍ය
අකුසලය ගෙවීම වෙනුවෙන් අත්හරින බව නොදන්නා තරම් ඔබ අතදරුවෙක්ද?
නිවන් දකිමු තාපසයාගේ අත්හැරීම
තම කය විශ්වයේ පරිභෝජනයට අත්හැරියා.
තම නිරෝගිකම රෝගයේ කැමැත්තට අත්හැරියා.
තම විවේකය සත්ත්වයාගේ නිවීමට අත්හැරියා.
තම මහණකම සාසනයේ යුතුකමට අත්හැරියා.
තම කුසගින්න ආහාරයේ කැමැත්තට අත්හැරියා.
තමකම සතර මහා භූතයාගේ කැමැත්තට අත්හැරියා.
තම නින්ද විවේකයේ කැමැත්තට අත්හැරියා.
තම ආයුෂ ලෝක සත්ත්වයාගේ අවශ්‍යතාවයට අත්හැරියා.
තම අගය නොඅගයන වටිනාකමට අත්හැරියා.
තම කැමැත්ත ලෝක සත්ත්වයාගේ විමුක්තියේ කැමැත්තට අත්හැරියා.
තම ආයු පිරිනිවුමට අත්හැරියා.
ඔබ මට වඩා අත්හරින්නට දක්ෂ බව මාගේ විශ්වාසයයි.
ඔබ ඔබේ අත්හැරීමට ඔබ ශ්‍රේෂ්ඨය.
ගුරු අවවාද !
මේ මිනිසත් භවයේ ඔබ අත්හරින දේවල් දැනගන්නෙහිනම් එම අත්හැරීමම නිදහස් කරන්නේය සසරෙන් පැවැත්මෙන්.
පුළුවන්නම් ජීවිතයේ අත්නොහරින මොහොතක් සොයා බලන්න. මට සම්භ නොවීය.
පෙම්වතා පෙම්වතිය දාලා යනවා නොවෙයි. ප්‍රේමය ආදරය සෙනෙහස අත්හරින්න අවස්ථාවක් ලබා දෙනවා.
දරුවෝ අප දාලා යනවා නෙමෙයි, දරු සෙනෙහස, ආදරය වගකීම, යුතුකම, අත්හරින්න අවස්ථාවක් ලබා දෙනවා.
ස්වාමියා හෝ බිරිඳ පිටුපානවා නෙමෙයි, බැඳීම් අත්හරින්න අවස්ථාවක් ලබා දෙනවා.
ප්‍රඥාවේ දැක්ම
ප්‍රඥාව
රෝගයට වඩා රෝගයෙන් තමන් ලබන අසරණකම අවබෝධ කරගන්නේය.
ප්‍රඥාව
ඤාතීත්වයට වඩා බැඳීමේ බරපතළකම අවබෝධ කරගන්නේය.
ප්‍රඥාව
පවුලට වඩා පවුල් ජීවිතයේ අනාවබෝධයෙන් ඇතිවන ගැටලු අවබෝධ කරගන්නෙය.
ප්‍රඥාව
වත්කමට වඩා වත්කමෙන් තමන්ට ඇතිවන මුලාව අවබෝධ කරගන්නේය.
ප්‍රඥාව
මරණයට වඩා මරණයෙන් තමන්ට තමන්වත්
අයිති නැති බව අවබෝධ කරගන්නේය.
කමටහන
යුතුකම්, වගකීම්, උපකාර, උපස්ථාන, සත්කාර, රස්සාව, යන සියල්ල අත්හැරීමේ ධර්මතාවයෙන් දකින්න.
මෙය සතර ඉරියවුවෙන් සිහිය පිහිටා පුරුදු කරන්න.
අටුවාව
පුරුද්දට අත්නෑර පුරුදුවෙන්න අත්හරින්න.
අත්හැරීමේ පුහුණුව ලබන්නා ඔහු නෑර වෙන කවුද?
බොහෝ අය අත්නාරින්නේ සසරේ අත්හැරීම පුරුදු නොකළ නිසා විය හැකිය.
බොහෝ අය අත්හැරියත්, සසරේ යන්නේ නිවීමට අත්නෑර පුරුද්දට අත්හරින නිසාද විය හැකිය.
බොහෝ අය නැවත ඉපදෙන්නේ නිසි පුහුණුව නොලද හෙයින්, අත්හැරීම තවත් අසුවීමක් වූ නිසාද විය හැකිය.
ටීකාව
සන්තක හැමදේම අහිමි වෙන්න සන්තකයට අයිතියක් තියෙනවානම්,
” අහිමි වෙන්න කලින් අහිමි කර ගන්නත්,
හිමිවෙන්න කලින් අහිමි කරගන්නත්,
ඔබටත් අයිතියක් තියෙනවා!!! “
සරලාව
හැම මොහොතක්ම අත්හැරීමකි.
හැම අවස්ථාවක්ම අත්හැරීමකි.
හැම සිද්ධියක්ම අත්හැරීමකි.
හැම වෙන්වීමක්ම අත්හැරීමකි.
හැම පිටුපෑමක්ම අත්හැරීමකි.
හැම නොලැබීමක්ම අත්හැරීමකි.
හැම අහිමියක්ම අත්හැරීමකි.
හැම ක්ෂණයක්ම අත්හැරීමකි.
සැබෑ අත්හරින බෝධිසතාණන්ට විශ්වයේ අත්හරින්න කිසිවක් ඉතිරිව නැත.
මෙය නොදන්න පෘතුජ්ජනයා කියනවා අයිතිය හැමදේටම.
(ජීවිතයම අත්හැරීමක්ලු!)
නිවන් දකිමු තාපසයාගේ තාපසාවබෝධය
ඇහැරී සිටින්නා නින්ද අත්හරින්නේය!
නිදාගන්නා අවධිය අත්හරින්නේය!
රැඳෙන්නා ගමන අත්හරින්නේය!
ගමන් කරන්නා රැඳීම අත්හරින්නේය!
සංවරයා අසංවරය අත්හරින්නේය!
අසංවරයා සංවරය අත්හරින්නේය!
උපයන්නා දුප්පත්කම අත්හරින්නේය!
අත්හරින්නා පොහොසත්කම අත්හරින්නේය!
අවිවේකයා විවේකය අත්හරින්නේය!
විවේකියා අවිවේකය අත්හරින්නේය!
සීලයා දුස්සීලය අත්හරින්නේය!
දුස්සීලයා සීලය අත්හරින්නේය!
අල්පේච්චයා මහේච්චය අත්හරින්නේය!
මහේච්චයා අල්පේච්චය අත්හරින්නේය!
ගිහි ගෙයි
දෙමවුපියෝ තම දරුවන් හට දක්වන
සෙනෙහස
ආදරය
කරුණාව
දයාව
සැලකිලි
පවා ඒ අය දෙන දීමනාවක් වන සැඟවුනු අත්හැරීමය.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ