දවසේ චින්තනය 01 – විශ්ව ධර්මතාවය


ඒ දානය අපේ පාත්තරයට ලැබුණා. ඒක පරිස්සමෙන් ගෙන්න පුලුවන් හැකියාව අපට ලැබුණා. හැලෙන් නැතුව, වැටෙන් නැතුව ඒක පරිස්සම් වුනා. ඒක වළඳලා කය ශක්තිමත් වෙලා, ඒ ලැබිච්ච ශක්තිය තුලින් අපි ගුණධර්ම වඩනවා.

     ඔබවහන්සේට තෙරෙන්නේ නැතිද අපිට වඩා අපේ ‘කර්මය’ ශක්තිමත් කියලා. ‘හේතුඵල දහම’ අසාමාන්‍ය විදිහට ශක්තිමත් කියලා. මට බඩගින්නක් දීලා, කර්මය. ඒ බඩගින්නට දානේ ටිකක්, කෑම ටිකක් හොයා ගන්න මානසිකත්වයත් දීලා මාව ගමට යවනවාලූ, හැබැයි කල් ඇතුව අර කට්ටියව කූද්දලා දානේ හදලා සුදානමුත් කරනවාලූ. අවශ්‍ය දානේ ටික පාත්තරයට ලැබෙනවාලු. හැලෙන් නැතුව ගෙන්න පුලුවන් ආරක්ෂාවත් දෙනවලු මට. වැළදුවාම ඒක මගේ කයේ ශක්තිය බවට පත් කරලා ඒක තුලින් ගුණධර්මත් වඩවනවලු.

     දැන් මේ ඔක්කෝම කවුද කරන්නේ, මමද? නැහැ!. හේතුඵල දහමට අනුව සිද්ධ වෙන එකක්. කර්මයට අනුව සිද්ධ වෙන එකක්.

     පිණ්ඩපාතයේ යන්නේ මම නෙවෙයි. ඒ යන මානසිකත්වය කර්මය මට දුන්නා. ලැබෙන්නේ දානය මට නෙවෙයි. මං සංසාරයේ කරපු දාන පාරමිතාවට සාපේක්ෂව දානේ මට ලැබෙනවා. පිං කරගන්න ඒ අයට සසරේ හේතු තිබිච්ච නිසා, හේතුවට අනුව ඒ අයව පාන්දර නැගිට්ටවලා දානේ සකස් කරවලා ඒ පිං ටික ඒ අයට අයිති කරවනවා.

     විශ්වය අපි හිතන තරම් බොළඳ නැහැ, බුදුවරු නිර්මාණය කරන ධර්මතාවයක්! මේ ලෝකේ කවදාකවත් අපිට හිතා ගන්නවත් බැහැ, විශ්ව ධර්මතාවයන් මෙච්චර ‘ශේෂ්ඨ’ වුනේ කොහොමද කියන එක. අද උදේ පාන්දර මාව මෙතන හිටවලා තියෙනවා, ඔබ වහන්සේලාගේ ගුරුවරයා කියන ගෞරවය මට දීලා තියෙනවා. මගේ අනුශාසනාවට කීකරු වෙන ඒ ගුණධර්මය, මානසිකත්වය සංසාරේ  ඔබවහන්සෙලාට කලින් දීලා තියෙනවා. ඒවා පිලිපැදලා, ඒ ගුණධර්ම වලින් ශේෂ්ඨ වෙලා මේ ගමන යන්න ඔනේ කියන ‘ප්‍රතිපත්තිය’ ඔබවහන්සේලා තුළ හදලා තියෙනවා.

     මොකවත් අපි කළේ නැහැ. හැමදේම විශ්ව ශක්තිය විසින්, කර්මය විසින්, හේතුඵල දහම විසින් හැමදේම සංවිධානය කොට මනාකොට සිදුකරනු ලබනවා. ඒ ක්‍රියාවට අනුගත වෙලා, ඒ ක්‍රියාදාමය දැකලා, ඒකට කීකරු වීම විතරයි අපි කරන්න ඔනේ. අනිත් ඔක්කෝම විශ්වයෙන් කරයි.

     අද දවසේ දාන වේල විශ්වයෙන් තීරණය කරලා. කවුද දෙන්නේ, කොහොමද දෙන්නේ, කොයි ලිපේද ඒක උයන්නේ, කොයි හැන්දෙන්ද බෙදන්නේ ඔක්කොම තීරණය කරලා. ඒ තරම් මහා ප්‍රඥාවෙන් විශ්වය අපි පිළිබඳව කටයුතු කරනවා. අපි මීට වඩා ප්‍රඥාවන්ත විය යුතුයි. අද පිණ්ඩපාතයේ වඩින්න, ‘විශ්ව ධර්මතාවය’ මත සිත පිහිටවලා.

     මාව අරගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය තැන හිටවලා, ඒ කට්ටියව කල් ඇතිව කූද්දලා දානේ සකස් කරලා ගෙනල්ලා මගේ පාත්තරයට දාලා, මාව පරිස්සමෙන් එක්කගෙන ඇවිල්ලා, ඒ දානය මට වළදවලා, ඒ දානය කරනකොටගෙන ගුණධර්ම පුරවලා මාව සසරෙන් නිදහස් කරනවා.

     මේ එකක්වත් මම කළේ නැහැ. සියලු දේවල් හේතුඵල දහමට අනුව, කර්මයට අනුව, විශ්ව ශක්තියට අනුව සිද්ධ වෙනවා. මට තියෙන්නේ සංතෝසයෙන් ඒකට අනුගතවෙලා බලාගෙන ඉන්න, කීකරු වෙන්න.

තෙරුවන් සරණයි!

Scroll to Top