හේතුඵල දහම
හේතුව ‘මම’ නම්, ඵලය මට ලැබෙන ‘දානය’. හේතුව ‘දානය’ නම්, ඵලය ඒක ලබා ගන්න ‘මම’.
හේතුවක් තියෙනවා භික්ෂුවක් විදිහට, ඒ හේතුව නිසා දානයක් නිර්මාණය වෙලා තියෙනවා. පූජා කිරීම සඳහා ශ්‍රද්ධාවෙන්, කැමැත්තෙන් දානයක් සුදානම් වෙලා තියෙනවා. හැබැයි කාටවත් ඒක දෙන්නේ නැහැ. ඒක දෙන්නේ භික්ෂුන් වහන්සේලාටමයි. පිණ්ඩපාතේ යන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන්ම, සුදානම් කරලා, සකස් කරලා බොහොම ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා.
හේතුවක් තියෙනවා භික්ෂුවක් විදිහට, ඵලයක් තියෙනවා දානයක් විදිහට. හේතුවක් තියෙනවා දානයක් විදිහට, ඵලයක් තියෙනවා භික්ෂුවක් විදිහට. මෙන්න මේ හේතුඵල දහම ගණුදෙනු කරනවා.
හේතුව නිසා ඵලය නඩත්තු වෙනවා. ඵලය නිසා හේතුව නඩත්තු වෙනවා. හේතුව නිසා ඵලයක් හට ගන්නවා. හටගත්ත ඵලය නිසා හේතුවක් හට ගන්නවා. ඒක නිසා මේකත්, මේක නිසා ඒකත් නඩත්තු වෙනවා, ගණුදෙනු කරනවා, වාසය කරනවා. හේතුවක් නැතුව ඵලයකට වාසය කරන්න බැහැ, ඵලයක් නැතුව හේතුවකට පවතින්න බැහැ.
අර කාසියේ දෙපැත්ත වාගේ, රුපියලේ කාසියක් අරගෙන එක පැත්තක තියෙන තොරතුරු ටික මකලා දානවා. ඒකේ මිල සත පනහක් වෙන්න එපාය. සත පහක් වත් හම්බෙන්නේ නැහැ. මොකද? එක පැත්තක් මැකුවහම සත පනහක වටිනාකම ගියා. ඉතුරු සත පනහක වටිනාකම තියෙනවා, නමුත් ඒ සත පනහා ගන්න බැහැ. දෙක එකට තිබුනාම රුපියලේම වටිනාකම හම්බෙනවා.
ඒ නිසා තමයිලු ඵලය නිසා හේතුවත්, හේතුව නිසා ඵලයත්.
ඵලයත් හේතුවත් එකටලු ක්‍රියාත්මක වෙන්නේ.
අවබෝධය අඩු නම්, ප්‍රඥා පාරමිතාව අඩු නම් අපි ඵලය දකිනවා. ප්‍රඥා පාරමිතාව වැඩි නම් ඒ උත්තමයා හේතුව දකිනවා. ඊටත් වඩා ප්‍රඥා පාරමිතාව වැඩි නම්, හේතුව නිසා ඵලයත්, ඵලය නිසා හේතුවත් හට ගන්න බව දැනගන්නවා. ඊටත් වඩා ප්‍රඥා පාරමිතාව වැඩි නම්, ඵලයම හේතුව වෙන බවත්, හේතුවම ඵලයක් වෙන බවත් ඒ ඕනෙම මොහොතක ඒ ඵලය, හේතුව ඵලය බවටත්, ඔනෙම මොහොතක හේතුව, ඵලය හේතුව බවටත් වෙනස් වෙන සුලුයි කියන එකත් දැනගන්නවා.
ඒ අයට මේ මහා පොළොව හරිම මිහිරියි, දිව්‍ය ලෝකේ යන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි? මේ කාම ලෝකය තුළම දිව්‍ය ලෝක ජීවිතයත් ගත කරනවා, දුක ස්පර්ශ වෙන්නේ නැහැ. පීඩාවල් නැහැ, හරිම සැහැල්ලුයි, සරලයි ජීවිතය.
බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා “මේ සියල්ල හේතුඵල දහම මහණනි, මේවා අවබෝධ කරගත්තොත් ජීවිතය හරිම සැහැල්ලුයි” කියලා.
අද අපේ ජීවිතය සංකීර්ණ වෙලා නම්, පීඩාකාරි වෙලා නම්, අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න බැරුව
විඳවනවා නම්, ඒකට හේතුව හේතුපල දහමේ අවබෝධය මදිකම නිසා නෙවෙයිද?
අද දකින්න, දවසේ චින්තනය අද පුරුදු කරන්න. ‘මම හේතුව නම් ලැබෙන්නේ ඵලය’ ‘ලැබෙන්නේ හේතුව නම්, ගන්න මම ඵලය’
හේතුඵල දහමෙන් පිණ්ඩපාතය කරමු.
තෙරුවන් සරණයි.