දවසේ චින්තනය 04 – විශ්ව ක්‍රියාවලිය


     හොඳයි, අපි විශ්වයේ ‘සත්ත්වයෙක්’ වෙනවට වඩා, විශ්වයේ ක්‍රියාවක් විදිහට පත් වෙන්නයි උත්සහා කරන්න ​ඕනේ,

දක්ෂ වෙන්න ඕනේ .

     මොකක්ද ඒකෙන් අදහස් කළේ, සියලු දේවල් භ්‍රමණ වේ​ගය නිසා, අණු අණුත් එක්ක එකතු වෙනවා. ඒ එකතු වෙන නිසා රසායනික ගුණ හටගන්නවා. ඒ රසායනික ගුණ නිසා වස්තු, සත්ත්වයෝ නිර්මාණය වෙනවා. විශ්වයේම විශ්ව ශක්තිය ප්‍රාණ ශක්තියක් විදිහට, විඥ්ඥාණයක් විදිහට පත්වෙලා. ඒ සත්ත්වයා ක්‍රියාකාරි ස්වභාවයටත්, වස්තු ටික නිෂ්චල දේපල විදිහටත්, නිර්මාණය වෙලා පවතිනවා. මේක ධර්මතාවයක්!

     නිෂ්චල, චංචල දේපල. මිනිස්සු කියන්නෙත් දේපලක්, චංචල දේපලක්. භෞතිකය කියන්නේ? නිෂ්චල දේපලක්. එක තැන තියෙන එකක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක්, සත්ත්වයෙක් නැහැ කියලා කිව්වේ. මේක චංචල දේපලක්. ක්‍රියාකාරි ස්වභාවයක්.

     පිරිසක් දානය දෙනවා, පිරිසක් දානේ වළදනවා. පිරිසක් ගුණ වඩනවා. පිරිසක් අසත්පුරුෂකම්, අධර්මිෂ්ඨකම් කරනවා. ඒ ගොල්ලෝ සසරේ දුක්, පීඩා, වේඳනා කියන ක්‍රියාවට පත්වෙනවා. මේ ගොල්ලෝ සසරේ විමුක්තියට පත්වෙනවා. විමුක්තියත්, පිරිනිවන් පෑමත් ක්‍රියාදාමයක් තමයි.

     අපි කොයි මොහොතෙද සත්​ත්ව ස්වභාවය නිර්මාණය කරගන්නේ, සත්​ත්ව ස්වභාවය නඩත්තු කරන්නේ එදාට අපිට වැරදෙන්න පටන් ගන්නවා. සක්කාය දිට්ඨි කියන්නේ ‘ආත්ම දෘෂ්ඨිය’. ඒ ආත්ම දෘෂ්ඨිය තමයිලු මෙච්චර සසරේ ප්‍රශ්ණ ගැටලු වලට හේතුව. ඒක නිවැරදි කරන්න මම මේ විශ්වයේ ක්‍රියාවක් විදිහට පත්වෙන්න ඕනේ .

     පි​ණ්ඩපාත වඩින ක්‍රියාදාමයක්. දන් පැන් පූජාවල් පිලිගන්න ක්‍රියාදාමයක්. ඒ පිලිගත්ත දානය සුවසේ වාඩි වෙලා වළදන ක්‍රියාදාමයක්. වළදලා වත් පිලිවෙත් වල, ගුණධර්ම වල, පාරමී වල නිරතවෙන ක්‍රියාදාමයක්. මොන දුක පැමිණියත් ඉවසන ක්‍රියාදාමයක්. මොන විදිහේ කරදර, හිරිහැර, හිංසා, පීඩා ලැබුණත් ප්‍රතිචාර නොදක්වන ක්‍රියාදාමයක්. සියලු සත්ත්වයන්ට කවදාකවත් සිතින්, කයෙන් වචනයක්, දෝශාරෝපනයක්, නින්දාවක්, අපහාසයක් නොකරන ක්‍රියා දාමයක්.

     මෙන්න සක්කාය දිට්ඨිය ගලවන සරලම ක්‍රමේ. ආත්ම දෘෂ්ඨිය ගැලවෙන ඉතාම සරල ක්‍රමේ. මේක භාවිතා කරන්න. ක්‍රියාදාමයක් විදිහට තමන්ව හිතන්න. තමන්ගේ කය, තමන්ගේ ජීවිතය ක්‍රියාවක් විදිහට දකින්න සත්ව ස්වභාවයෙන් තොරව.

අද දවසේ කමටහන.

තෙරුවන් සරණයි.

Scroll to Top