දවසේ චින්තනය 05 – සියල්ල තීරණය වෙලා…


අද දවසේ මට මොනවාද වෙන්නේ, මට මොනවාද ලැබෙන්නේ, මට මොනවාද ඇසෙන්නේ, මට මොනවාද පෙනෙන්නේ, මට මොනවාද හිතෙන්නේ, ඒවා සංසාරගත හේතු නිසා තීරණය වෙලා.

නිවැරදි කරන්න පුළුවන් ආර්ය අෂ්ඨාංගි​ක මාර්ගයෙන්.

ඊට වඩා දක්ෂ වැඩක් තියෙනවා; ඒක බොහෝම සන්තෝෂයෙන් භාරගන්න, අනුගත වෙන්න, පිළිගන්න තැනට පත්වෙන එක. ඒක තමයි නිවැරදි කරනවාට වඩා වඩාත්ම සුදුසු දේ. මේකට වඩා තවත් හොඳ එක මොකක්ද කියලා සොයනවාට වඩා, හමුවෙච්ච එකට සැනසිල්ල පත්වෙන එක හොඳයි කියලා කියනවා.

මීට වඩා හොඳ තැනක් කොහේද තියෙන්නේ කියලා අහනවාට වඩා, තියෙන තැන හොඳ තැනක් බවට පත් කරගන්න එක, අර සොයනවාට වඩා හොඳයි කියලා කියනවා.

අපේ ප්‍රඥාවට ගෝචර නොවූවාට, සංසාරයේ බෝධිසත්ත්වරු විදිහට පාරමී පුරනකොට අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න බැරිවෙච්ච ධර්ම කාරණා.

‘සන්තුස්​ස කෝව සුභරෝ ව’ සියලු දේවල් සුභවාදීව දකිනවා, අනුගත වෙනවා, භාරවෙනවා. අර පොලීසියට ගිහිල්ලා භාරවෙන්නේ… “මම වරදක් කළා, මම භාරවෙනවා” කියලා.

ඒ වගේ විශ්වයට, විශ්ව ශක්තියට, හේතුඵල දහමට, කර්ම විෂයට තමාව භාරදෙනවා. “කැමති දෙයක් කරන්න.”

අද මොනවාද ලැබෙන්න තියෙන්නේ? ඒක ලැබුණාවේ. ඒක වළඳනවා. “අරක ලැබුණේ නැත්තේ ඇයි? මේක ලැබුණේ නැත්තේ ඇයි?” කියලා විමසන්නේ නැහැ. ලැබෙන දේට සන්තෝෂ වෙනවා. අද මොනවාද පේන්න තියෙන්නේ? පෙනුණාවේ. අද මොනවාද මට ඇහෙන්න තියෙන්නේ? ඇහුණාවේ. අද මොනවාද මට ජීවිතයේ පැය විසි හතරේ වෙන්න තියෙන්නේ? ඒ ඔක්කොම වෙච්චාවේ. හැබැයි ඒකට මාව භාරවෙලා, අනුගත වෙලා, කීකරු වෙලා, ඒ තුළ මම දහම මතු කරනවා. කොච්චර ලස්සනද අපේ මහණ ජීවිතය. අපේ තපස් ජීවිතය.

අද දවසේ චින්තනය: අද දවසේ ලැබෙන්න තියෙන දේ තීරණය වෙලා තියෙන්නේ. ඒ නිසා පාත්තරයට මේ මේ දේවල් අවශ්‍යයි, මීට වඩා ගන්නවා, කිරට ගන්නවා, ඇඹුලට ගන්නවා කියන ආශාවලින් අයින් වෙලා, අද ලැබෙන්න තියෙන දේ තීරණය වෙලා. කුමක් ද ලැබෙන්නේ? ඒක තමයි තීරණය වෙච්ච දේ ලැබෙන්න.

එක සන්තෝෂයෙන් භාරගන්නවා කියන මානසිකත්වයට පත්වෙලා, කර්මය පිළිඅරගෙන, විශ්ව නීතියට යටත් වෙලා, අපිව අපි ඒ ධර්මතාවයට භාරවෙලා, අනුගත වෙලා කටයුතු කරමු. ඒ මානසිකත්වයෙන් පිණ්ඩපාතයේ වඩින්න.තෙරුවන් සරණයි.

තෙරුවන් සරණයි.

Scroll to Top