දවසේ චින්තනය 08 – ත්‍රිවිධ රත්නයේ ආනුභාවය

“බුද්ධානු භා​වේන, ධම්මානු භාවේන, සංඝානු භාවේන සදා සොත්​තී බව​න්තුතේ”

     අපි අහලා තියෙන පාඨයක්, හැබැයි ඒකේ විද්‍යාව අපි දැනගෙන ඉන්නවාද කියන එක තමයි ප්‍රශ්නේ. බුදු රජාණන් වහන්සේ මේ ලෝක සත්ත්වයාට යම්කිසි මෛත්‍රියක් පැතිරුවා නම්, ඒ මහා කරුණාවෙන්, ඒ තරංග, සිතිවිලි මේ විශ්වයට එකතු කළා නම්, ඒ තරංග අදත් ජීවමානයි.

     විසි අටක් බුදුපියාණන් වහන්සේලාගේ තොරතුරු මේ වෙනකොටත් මේ තරංගයේ ජීවමානයි, ඒ නිසා තමයි කලින් බුදුවරු මොනවද කළේ කියලා, අපේ ගෞතම බුදු පියානන් වහන්සේ සම වැදිලා බල​ලා, ඒ තොරතුරු වලින් අවශ්‍ය තීන්දු තීරණ ගත්තේ..!

     උන්වහන්සේලා අසුමහා ශ්‍රාවකයෝ, ඒ ආර්යයන් වහන්සේලා, රහතන් වහන්සේලා මේ විශ්වයට නිකුත් කරපු ධාර්මික තරංග, ඒ ගුණ ධර්ම තවමත් ජීවමානයි.

     සංඝයාගේ හැසිරීම, සීලය, විනය, සමගිය, සාමය, එකමුතුකම. ඒ තරංග තාම විශ්වයේ ජීවමානයි.

     බැරි වෙලාවත් අම්මා, තාත්තා, ගෙවල් – දොරවල්, රස්සාවල්, අඹු දරුවෝ ඔක්කෝම අත් හැරලා “මම මේ සසරෙන් නිදහස් වෙනවා”  කියලා බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිපත්තියට එකඟ වෙලා. බැරි වෙලාවත් ඒ සම්බුද්ධ ශාසනයේ අවිච්චින්න සඟ පරම්පරාවෙන් මේ පැවිදි ප්‍ර​විජ්ජාව ලබා ගත්තොත්, අර තරංග ඔක්කොම මට සම්බන්ධ වෙනවා.

     එහෙනම් මට දානේ ලැබෙන්නේ මගේ පිනට නෙවෙයි, බුදු රජාණන් වහන්සේගේ පිනට. මට මාර්ගය වැඩෙන්නේ, ධර්මයේ පිනට. මගේ දඩබ්බරකම්, අසංවරකම්, මාන්නක්කාරකම් ඔක්කොම යටපත් වෙලා. මෙච්චර ධාර්මිකව සිල්වත් වෙන්නේ සංඝයාගේ ගුණයට.

     සංඝානු භාවයෙන් තමයි මාව නිවැරදි කරන්නේ…

     එහෙනම් සංඝානු භාවයෙන් මාව හැදෙන්නේ. “භික්ෂුන් වහන්සේලා දුවන්නේ නැහැ.” සංඝානු භාවයෙන් හැදෙන්නේ.

     “ඔබවහන්සේ දවසට පැය කීයක් භාවනා කරනවාද?”

     “ආර්ය පරික්ෂණ මොනවද කරන්නේ?”

     “මේ දවස්වල මොකක්ද අහපු බණ?”

ධම්මානු භාවයෙන් හැදෙන්නේ.

     සිව් පසය බුද්ධානු භාවයෙන් ලැබෙන්නේ. වැදුම්, පිදුම්, ගෞරව බුද්ධානු භාවයෙන් ලැබෙන්නේ.

     මෙවා අපි නිතර සිහි කරන්න ඕ​නි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විදිහට නිතරම මෙනෙහි කරන්න ඕ​නි කාරණයක් මේක.

     අද පින්ඩපාත චර්​යාව විතරක් නෙවෙයි, ජීවිත කාලේම, බුද්ධානු භාවයට අනුව මට මේක වෙන්නේ, මේක ධම්මානු භාවයට අනුව මට හිතෙන්නේ, දැනෙන්නේ, තෙරෙන්නේ, අවබෝධවෙන්නේ. සංඝානු භාවයට අනුව, මගේ අතපය බැදලා, කය බැඳලා, මම පුදුමාකාර විදිහට සංවර වෙලා, සංසුන් වෙලා, හුදෙකලා වෙලා, හික්මිලා, කීකරු වෙලා, නිහතමානී වෙලා. සංඝානු භාවයෙන්. සංඝයා මෙහෙම හිටියා, සංඝයා මෙහෙම ඉන්න ඕ​නි, සංඝයා මෙහෙම තමයි යන්න ඕ​නි, එන්න ඕ​නි, කථා කරන්න ඕ​නි. සංඝානු භාවයෙන් මාව සම්පුර්ණ නිවැරදි වෙලා.

     එහෙනම් “බුද්ධානු භාවේන, ධම්මානු භාවේන, සංඝානු භාවේන සදා සොත්ති බවන්තුතේ” මේක ධර්මතාවයක්, මේක කමටහනක්, මේක විශ්වය විසින් ක්‍රියාත්මක කරවන සමීකරණයක්.

     මේක අද දවසේ කමටහන, සිහි කරගෙන ඒ මානසිකත්වයෙන්ම පුරුදු වෙන්න, පුහුණු වෙන්න.

තෙරුවන් සරණයි.

Scroll to Top