පිණ්ඩපාත චරියාව
සියළු සත්ත්වයෝ නැවත ඉපදෙන්නාහ, දුක් විඳින්නාහ, සසරේ යන්නාහ.
අලුත් එකක්. සියළු සත්ත්වයෝ නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙනවා කියන එක තමයි අපි අහලා තියෙන්නේ. සියළු සත්ත්වයෝ ඉපදිලා, දුක් විදලා සසරේ යනවා කියන එක අලුත් එකක්.
ඒක අහලා නැති වුනාට, ඇත්ත ඒකනේ. අපි පිණ්ඩපාතේ යනකොට ඒ සියලුම ගම්මාන වල මිනිස්සු ඉපදිලානේ. පින්ඩපාත ලබන්න අපිත් ඉපදිලානේ.
එහෙනම් සියලු සත්ත්වයෝ ඉපදෙන්නාහ, දුක් විඳින්නාහ, සසරේ යන්නාහ.
මොකක්ද මේකට හේතුව? කුසල් මදි. ‘කුසලස්ස උපසම්පදා’ ලොවුතුරා බුදු රජාණන් වහන්සේලාගේ බුද්ධ අනුශාසනාව. කුසල් මදි. ඒ නිසා ඒ අයට උදේ ඉඳලා රෑ වෙනකම් මේ නාම – රූපත් එක්ක ගණුදෙනු කළත් මේ නාම – රූප වල තියෙන ගණුදෙනුව,
ඒ ස්පර්ශ වෙන, ගනුදෙනු වෙන කෙළෙස් මොනවද? එ්කෙන් හටගන්න දුක මොනවද? මෙකෙන් නිදහස් වෙන්න කරන්න ඕන මොකක්ද? කියන එක කවදාකවත්ම තේරෙන්නේ නැහැ.
අල රසයි, බෝංචි පිළුණුයි, මෙයා හොඳයි, මෙයා නරකයි, මේ ගහ කපලා අයින් කරන්න, මෙයාව ගේ ඇතුලට ගන්න එපා, අසුවලත් එක්ක අමනාපයි කතා කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඒ මිනිස්සු හිතන්නේ. පතන්නේ. ජීවත් වෙන්නේ.
ඇයි මේ නාම – රූප වල පරමාර්ථ ධර්මය, සත්‍යාවබෝධය මතුවෙන්නේ නැත්තේ, කුසල් මදි. අපි මේ පින්ඩපාතයේ වඩිනවා නෙවෙයි, ඒ අයට කුසල් කරගන්න අවස්ථාව දෙනවා. තියෙන මොනවා හරි දෙයක් අපිට පූජා කරලා ඒ අය කුසල් කරගන්නවා.
පිං සිත ඇති කරගන්නවා.
‘දෙන්න ඕනේ’ කියලා හිතන එක පින. දුන්නම කුසල් ඒක භෞතිකයක් නේ. භෞතිකව කරන දේවල් ඔක්කෝම කුසල්. මනසින් කරන දේවල්, සිතන දේවල්, පතන දේවල්, ප්‍රාර්ථනා කරන දේවල් ඔක්කොම පිං.
ඒ නිසා තමයි, සංඝයා ගෙදරට වඩම්මලා භෞතිකව දානයක් දීලා කුසල් කරගන්නවා. දානේ වළඳපු ස්වාමින් වහන්සේලා “බොහොම පිං හොඳට තිබුණා දානේ” කියලා පිං දුන්නට පස්සේ, ඒක අනුමෝදන් වෙනවා ඒ අදාල අයට. අනුමෝදන් කරන ඒවා පිං. වළඳන ඒවා කුසල්.
එහෙනම් ඒ අයට පිං සිත පහල වෙනවා ‘සංඝයා’ දැක්කාම. බලන්න නිකන් ඉන්න මනුස්සයෙකුට පිං සිතක් පහළ කරන හැටි. ඒ පහල කරපු මනුස්සයා නිකන් ඉන්නේ නැහැ දෙගි ගෙඩියක් හරි අපිට ගෙනල්ලා පූජා කරනවා “ස්වාමිනී කුස්සියේ තිබුනේ ලුනු ටිකක් විතරයි.” එහෙනම් ඒ දීපු දේ කුසල්.
එහෙනම් සියලු සත්ත්වයෝ ඉපදිලා, දුක් විඳලා, සසරේ යනවා. ඒකට හේතුව කුසල් මදි.
නාම – රූප වලින් නිදහස් වෙන්න, යථාභූත ඤාණය මතුකර ගන්න, පරමාර්ථ ධර්මය ඇතිකරගන්න දක්ෂකම නැහැ. ඒකට හේතුව කුසල් නැහැ.
ඒ සත්ත්වයාට පුලුවන් තරම් මං කුසල් කරගන්න, පිං සිත ඇතිකරගන්න අවස්ථාව දෙනවා. අවස්ථාව දීපු නිසා මටත් කුසල් නිර්මාණය වෙනවා. ඒ දානේ පිලිගත්තාම එයාට කුසල් ලැබෙනවා නම්, ඒ අවස්ථාව දීපු මට?
මමත් භෞතිකවනේ ඒක කරලා තියෙන්නේ, මටත් කුසල්.
එහෙනම් මගේ මාර්ගයත් විවර වෙනවා, එයාගේ මාර්ගයත් විවර වෙනවා. එයත් සසරෙන් නිදහස් වෙනවා. මමත් සසරෙන් නිදහස් වෙනවා.
එහෙනම් මමත් නිදහස් වෙලා, ඒ අයත් නිදහස් වෙලා, සියළු සත්ත්වයෝ සසර දුකින් නිදහස් වෙන ප්‍රතිපදාවකට නමක් තිබ්බා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ‘පිණ්ඩපාත චර්යාව’ කියලා.
එහෙනම් මම පිණ්ඩපාතේ යනවා නෙවෙයි, නිවන් මඟ යනවා. පිණ්ඩපාත දෙනවා නෙවෙයි, නිවන් මඟට සුදානම් වෙනවා.
මෙන්න මේ කාරණාව සිහිපත් කරගෙන, ඒ මානසිකත්වයෙන් අපි පිණ්ඩපාතේ යමු.
තෙරුවන් සරණයි.