නිවීමේ පණිවිඩය රැගත්… 55

දහම් පදය
“ අල්ලාගැනීමක් අවශ්‍යවන්නේ අත්හැරීමක් උදෙසාය. ඔබේ අල්ලාගැනීම කෙදිනක හෝ අත්හැරීමක් වන්නේය.“
උවටැන් ෴
සියල්ල අත්හැරෙමින් පවතී.
ඔබේ වයසට යෑම ඔබට නතරකල නොහැකිනම්,
ඔබේ ලෙඩවීම ඔබට නතරකල නොහැකිනම්
ඔබේ ඔත්පළ වීම ඔබට නතරකල නොහැකිනම්,
ඔබේ මරණය ඔබට නතරකල නොහැකිනම්,
ඔබ වසඟයේ පවතින්නේ කුමක්ද?
ඔබ අයිතියේ පවතින්නේ කුමක්ද?
ඔබ පාලනයේ පවතින්නේ කුමක්ද?
ඔබ යටතේ පවතින්නේ කුමක්ද?
“අහිමිය වටහාගත්තාට නැත තවත් සසරක් ඔහුට ඉපදෙන්නට”
ගුරු අවවාද !
ලෝකයේ බොහෝ දේ ඇති නමුන් ඔබ වෙනුවෙන් කිසිත් නැත, එය දැනගන්න.
ලෝකයේ බොහෝ පිහිට ඇති මුත් ඔබට කිසි පිහිටක් නැත,
එය දැනගන්න.
යහළුවා යහළුකමට මිස ඔබට නැති බව දැනගන්න.
ඔබ සතුව බොහෝ දේ ඇති නමුත් සැබවින්ම ඔබ සතුව ඇත්තේ කිසිත් නැත බව දැනගන්න.
කමටහන
ඔබ සසරේ අසරණ වෙලාය.
යන එන මං නැති වෙලාය.
සියලු දේ පවතින මුලාවන්ය.
හැම දෙයින්ම බැරි වෙලාය.
දුකට ප්‍රශ්නෙට මැදි වෙලාය.
මෙය සතර ඉරියවුවෙන් සිහිය පිහිටා පුරුදු කරන්න.
අටුවාව
අත්හරින්නට කුමට ලබමුද?
ලබන්නට කුමට අත්හරිමුද?
අසන්නට කුමට කියමුද?
වෙන්නට කුමට කරමුද?
විඳවන්නට කුමට විඳිමුද?
ටීකාව
ලෝකය ඔබෙන් නිදහස්ය.
ඔබය ලොවෙන් තවම නොනිදහස්.
විමුක්තිය ලොවේ නැත. එය තවම ඔබ තුළය.
සරලාව
පවුල නිවසට සීමාය.
දරුවෝ මහළුවිය දක්වා සීමාය
මිතුරෝ සමාජයට සීමාය
රැකියා විශ්‍රාමයට සීමාය
ආයු මරණයට සීමාය
කෙළෙස් සසරට සීමාය
නිරෝධය නිවනට සීමාය.
(වෙනුවට අත්හැරීම!)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ