නිවීමේ පණිවිඩය රැගත්… 61

දහම් පදය
“ හටගන්නේම නැතිවෙන්නය. ඉපදෙන්නේම මැරෙන්නය. මෙය දන්නා රැස් නොකර අස් කරන්නේය. “
උවටැන් ෴
පිළිකුල් භාවනාවට අතහැරීමක්
සියල්ල කයේ පැවැත්ම හා නඩත්තුව උදෙසාද?
කය යනු සුන්දර වස්තුවක් නොව අසූචි හදන යන්ත්‍රයක් බව දන්නෙහිද.
උදේට කෑම කටට දැම්මෙහිය,
දවල්ටත් කෑම කටට දැම්මෙහිය,
රාත්‍රියටත් කෑම කටට දැම්මෙහිය.
එහි ප්‍රතිඵලය උදෑසනම අසූචි මිස වෙන මොනවද?
සුවඳ විලවුන් තවරන්නේ සුවඳ නිසා නොව, තම ගඳ තමන්ටවත් දරන්න බැරි නිසා නොවේද?
ලස්සනට වස්ත්‍ර ආභරණ පලඳින්නට පෙළඹෙන්නේ තම අවලස්සන ලෝකෙට වසඟ කරන්නට නොවේද?
කොපමණ මුඛ වර්ණ යෙදුවත් කටේ ගඳ අරින්න පුළුවන් විශ්වාසයක් ඔබ සතුද?
වැසිලිකිළිය අපිරිසිදුය. ගඳය කියා පිළිගන්නෙහිය.
එය එලෙස අපිරිසිදු වූයේ ඔබේ කයෙන් පිට වූ දේ දෑ නිසා බව තවම නොදන්නෙහිද?
රාගය අපිරිසිදුකම නාඳුනයි.
කාමය වයස, නෑකම නාඳුනයි.
කයේ වටිනාකම නඩත්තු කරන්නා එහි පිළිකුළ පිළී නොගනියි.
පිළිවෙලට කරන්නා පිළිවෙත් පුරන්නාය.
අපිළිවෙලට කරන්නා අපිළිවෙලට ඉන්නාය.
අපිළිවෙල වූවා ලොවට පිළිකුලක්ම වූවා.
ඇස ප්‍රියයයි දකින ඔබට ඇසේ කබ ප්රියයැයි දකින්නට නොහැකි වූයේ මන්ද?
සමේ සිනිඳුව නිමාව විඳින්නෙහිද?
තුවාලයක සැරව, ඕජාව දැනටමත් සමේ අන්තර්ගතය.
දහඩියේ ගඳ උහුලන්න හැකිනම් කුමට කය සෝදමුද උදේ හවස, අපේ ගඳ අපට උහුලන්න බැරි කොට ලඟ ඉන්න අය දාලා යන එක පුදුමයක් නොවෙයි.
නැවත නොසෝදන පිණිස සෝදලා ඉවර වෙච්ච වස්ත්‍රයක් දැනට ඔබ සතුද?
කයේ නඩත්තුවත් එසේමය පිළිගන්න කැමතිනම්.
අහෝ පෘතජ්ජනය ෴
මළ ගෙවල් රාශියකට ගොස් මුහුණ විරූප කරගෙන ඉන්න තේරුන ඔබට ඔබේ මරණය සිහිකරන්න බැරි තරම් පෘතජ්ජනද?
අඳින වස්ත්‍ර නිසා තව කෙනෙකුට රාගය කාමය ඇතිවේය යන එකවත් නොතේරෙන තරම් ඔබ මන්ද බුද්ධිකද?
යහපත් දේ, තේරුම් නොගැනීමට තරම් ඔබ පෘතජ්ජනද?
අනුන් රවටා රැස් කරන වස්තුවෙන් ඵලය නැති බව නොතේරෙන්න තරම් පෘතජ්ජනද?
මිතුරාටද හතුරුකම් කරන ඔබ ඔබටම හතුරුකම් කරගන්න බව නොතේරෙන තරම් පෘතජ්ජනද?
මෙයයි ඔබේ පෘතජ්ජන හාවය.
ගුරු අවවාද !
ඔබේ දුක ඔබටය එය අනුන්ට දුකක් නොකරන්න.
ඔබේ ප්‍රශ්ණ ඔබටය එය අනුන්ට ප්‍රශ්ණයක් නොකරන්න.
ඔබේ බැඳීම් ඔබටය එය අනුන්ට බැඳීමක් නොකරන්න.
ඔබේ අවිවේකය ඔබටය එය අනුන්ට අවිවේකයක් නොකරන්න.
ඔබේ කලබලය ඔබටය එය අනුන්ට කලබලයක් නොකරන්න.
ඔබේ අසංවරය ඔබටය එය අනුන්ට අසංවරයක් බවට පත් නොකරන්න.
ඔබ ඉන්නවානම් මහ පොළොවේ ඉන්න බව නොදැනෙන්න ඉන්න.
වෙහෙසෙන්න දරුව!!!
දුප්පත් වෙන්න වෙහෙසෙන්න.
කීකරු වෙන්න වෙහෙසෙන්න.
යටහත් පහත් වෙන්න වෙහෙසෙන්න.
නොබැඳී ඉන්න වෙහෙසෙන්න.
නිහතමානී වෙන්න වෙහෙසෙන්න.
අවංක වෙන්න වෙහෙසෙන්න.
සත්‍යවාදී වෙන්න වෙහෙසෙන්න.
සිල්වත් වෙන්න වෙහෙසෙන්න.
ධාර්මික වෙන්න වෙහෙසෙන්න.
කමටහන.
ඔබේ ජීවිතය ඔබ උදෙසා නොව, මරණය උදෙසාය. මැරෙන්න මොකටද තවත්,
වස්තුවක්,
සත්ත්වයෙක්,
ඥාතියෙක්,
දේපළක්,
දැනුමක් උගත්කමක්
අත්හැරෙන අත්හැරීමට අත්හැරීමටම අත්හරින්න.
මෙය සතර ඉරියවූවෙන් පුරුදු කරන්න.
අටුවාව
මැරෙනවිට ගෙනියන්න පුළුවන් දේ ඉතුරු නොකර නැවත නොමැරෙන්නට අත්හරින්න.
ටීකාව
“මරණය සියල්ල අහිමි කරයි”
මරණයට සියල්ල බාර දී නිදහස් වන්න.
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!
සරලාව
සියල්ල අත්හරින්නාට අත්හැරීම හිමිය.
එම අත්හැරීම ඔහුට අහිමිය.
මන්ද අත්හැරීමක් තුළ පවතින්නේ තවත් අත්හැරීමක් මිස වෙන මොනවද?
(මරණයේ අත්හැරීම)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ