නිවීමේ පණිවිඩය රැගත්… 62

දහම් පදය
” අත්හරින්නේ කෙසේදැයි කල්පනා කිරීමට වඩා, අත්හරින්නේ මන්දැයි කල්පනා කිරීම කොපමණ අගනේද? “
උවටැන් ෴
අල්ලාගැනීම…
බොහෝ අය අත්හරින්නේ කෙසේදැයි කල්පනා කරති. නමුත් සමහර දේවල් තවම අත්නොහරින්නේ මන්දැයි කල්පනා කරති.
මන්ද ඒවා අත් නොහැරීම පිළිබඳ දැඩි කැමැත්තක් පවතින නිස නොවේද?
මගේ ස්වාමියාය, මගේ බිරියය, ලෙස කල්පනා කරනවට වඩා, මම අසුවලාගේ ස්වාමියාය, බිරියය ලෙස කල්පනා කිරීම අත්හැරීමට නව අර්ථයක් ගෙන දෙනවා නොවේද?
නිවීමට අකමැත්තෙක් ලොව නැත. නොනිවීමට කරන කටයුතු නැවතීමට කැමැත්තෙකුත් ලොව නැත.
එසේ සිටියානම් අහසේ කුරුල්ලන්ට වඩා රහතුන් වඩිනු ඇත.
ඔබ සොයන ඒ රහතා කිසිදා සම්භ නොවේ
මක්නිසාද ඔබ මේ වනවිටත් සොයන්නේ ඔබ නොව පිරිනිවන් පෑ රහතෙක්වය.
සියල්ල තම වසඟයේ පවතින බව දැනෙන්නේද
දැනගන්න ඔබවත් ඔබ වසඟයේ නැති බව.
නිවසේ නිර්මාණය සැප ආස්වාදය පිණිස මිස ජීවත් වීමට නොවේ නම්
නිවසත් එක්තරා මාර බන්ධනයකි නිවුමට එරෙහි.
අහෝ පෘතජ්ජනය!
~ ඔබ වඩාත් කැමති රැකියාවටද? නැත්නම් එයින් ලැබෙන වැටුපටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති ස්වාමියාටද? නැත්නම් ඔහුගෙන් ලැබෙන සෙනෙහසටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති ඔබේ බිරියටද? නැත්නම් ඇගේ රුවටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ කැමති වාහනයටද නැත්නම් එහි වටිනාකමටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති ඔබටද? නැත්නම් ඔබේ රූපයටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති අධ්‍යනයටද? නැත්නම් උපාධියේ ගෞරවයටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති ජීවත් වෙන්නද නැත්නම් පොහොසත් වෙන්නද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති මත්පැනටද? නැත්නම් වෙරි මතයටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති කාන්තාවටද? නැත්නම් කාමයටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති දුරකථනයටද? නැත්නම් එහි තාක්ෂනයටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති වස්ත්රයටද? නැත්නම් එයින් ඇතිවෙන සත්ත්වයාගේ ආකර්ශනයටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති විලි වහගන්නද? නැත්නම් ඔබේ විලි ප්‍රදර්ශනය කරන්නටද? ඔබෙන්ම විමසන්න!
~ ඔබ වඩාත් කැමති කුසගින්නට කන්නද? නැත්නම් රසට කන්නද? ඔබෙන්ම විමසන්න!
මෙයයි ඔබේ පෘතුජ්ජන භාවය.
ගුරු අවවාද !
ඔබේ රුව ඔබේ ස්වාමියා දුටුවාම සෑහෙයි.
ප්‍රදර්ශනයෙන් පිරිහීම මිස කුමක් ලැබුවේද?
සත්‍ය කියා ගුටිකෑමත් මිහිරිය. බොරු කියා ගෞරව ලබනවාට වඩා.
රැස් කරගෙන අවිවේක වෙනවාට වඩා, අස්කරගෙන විවේක වීම කොපමණ අගනේද?
පවුල් ජීවිතය කියන්නේ මේකද?
ඔබට කියා ලෝකයකුත් හදාගෙන,
තමන්ට කියා පිරිසකුත් එකතුකරගෙන,
අනාගතේට සම්පත් ලං කරගෙන,
විඳිනවා නැති දුකක් හිමි කරගෙන.
කමටහන.
අත්හැරීමට අකමැති හේතු සොයා ධර්මයෙන් නිවැරදි වෙන්න.
එවිට අත්නාරින්න කැමති දේවල්ද අත්හරින්න කැමති වනවා ඇත.
මෙය සතර ඉරියවුවෙන් පුරුදු කරන්න.
අටුවාව
ඔබේ ප්‍රශ්ණය විය යුත්තේ
අත්හරින්නේ කෙසේද? යන්න නොව,
කෙසේ හෝ අත්හරින්න? යන්නයි.
ටීකාව
අත්හරින්න කල්පනා කරන්නා, කල්පනා කරනවට වඩා වෙන දෙයක් කරන්න කාලයක් නොලබයි.
අත්හරින්නා අත්හැරීමට වඩා වෙන දෙයක් කරන්න කාලයක් නොලබයි.
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා.
සරලාව
අත්හැරීමට සැලසුම් නොකරන්න.
මන්ද අත්හැරීමම සැලසුමකි නිවීමට කරන.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ