නිවීමේ පණිවිඩය රැගත්… 67

දහම් පදය
“කුමන වස්තුවෙන්, කුමන සිතින් දුක හටගන්නේද,
එම වස්තුවෙන්, එම සිතින් වෙන් වන්න, එවිට එම දුකද වෙන්වනු ඇත…”
උවටැන් ෴
අත්හැරිය යුත්තේ දුක නිවෙන දේ නොව, දුක හටගන්න දේය.
ඔබේ දුක හැඳිනිය හැක්කේ සලායතන ගනුදෙනු කරන නාමරූප තුලින්ය.
සියලු නාමරූප දුක කිව්වත්, ඔබ බිහිරි නම් කාට ඇසෙන්නද?
දුක හටගන්නේම වස්තුවේ දුර්වලකම නිසා නොව, ඔබේ කෙලෙස් වල දුර්වලකම නිසාය.
වස්තුව වස්තුවක් ලෙස දකින්න.
මගේ යැයි දැකීමෙන් හටගත්තේ දුකක් මිස වෙන මොනවද?
වස්තුව ඔබට අයිති යැයි කියා සිතා ඔබේ අයිතිය වස්තුවට දුන්නේය.
සිත හදන්න කලින් සිත හඳුනගැනීම කොපමණ වැදගත්ද?
එකම එක දෙයක් මතක තබාගන්න. එය කිසිවෙටක මතක නැති නොකරන්න.
“ඔබ උපතට පැමිණියේ පිරිනිවෙන්නටය”
දුකයි දුකයි කියන්නා දුක වවන්නේය.
දුක දරන්නා දුක නිවන්නෙක්ය.
ඔබේ කමටහන ඔබට දැනෙන දුකය.
කමටහනේ නිමාව දුකේ නිරෝධයය.
උම්මන්තකයා කිසි දිනෙක තමා පිස්සෙක්, උම්මන්තකයෙක් ලෙස පිළි නොගන්නේය.
මන්ද උම්මන්තකයාට පෙනෙන්නේ තමා හැර අනෙක් සියල්ල උම්මන්තක ලෙසය.
කාමභෝගියාද මෙලෙසය.
ඔබේ ලෝකයේ ඔබ රජෙක් විය හැක.
නමුත් මගේ ලෝකයේ මම යාචකයෙකි.
බලෙන් බදාගෙන රැකුමට වඩා ඉල්ලගෙන විසීම නිදුකට පිළියම්ය.
කුමක් ලබම්දැයි කල්පනා නොකර,
කුමට ලබම්දැයි කල්පනා කරන්න.
එය ඔබේ සසර කෙටි කරයි
හැම දේටම හේතුවක් ඇත. නුමුත්
අපායට පෙරුම් පුරන්න හේතුව කිමද?
ලෝකය තේරුම් ගත්ත කෙනා තාපසයෙකු මිස, ලෝකය කලකිරුනු කෙනා තාපසයෙකු නොවේය.
ඔබ ලඟ තිබුන නිසා දුන්නා මිස, නැතිකොට දුන්නෙක් සම්භ වීද?
තියෙන කෙනෙක් දෙන එක පුදුමයක් නෙවෙයි,
නැති කෙනෙක් නොගන්න එකයි පුදුමේ.
හඳේ ගෙවල් හදන්න සිතන ඔබ මිදුලේ කොල අතුගාන්න නොසිතුවේ මන්ද?
රහත් ඵලයලු පතන්නේ වාචාලකමවත් හදන්නේ නැතිලු.
යුද්දෙට ලෑස්තිලු, මරන්නත් පුළුවන්ලු.
සමාවක් දෙන්න පමණක් බැරිලු.
එයා බෞද්ධයෙක්ලු.
බුද්ධ අවවාදයට කීකරු නැති,
අඩි හයක් උස මිනිසා අඟල් 4 දුම්වැටියට කීකරු වූ පුදුමය ලොව කිසිදා දැක තිබේද?
උදේ සවස මැදලා දත්ටික රකින ඔබ
පන්සිල් රකින්නැති එක මොනතරම් දුර්වලකමක්ද?
ඔබේ කෙලෙසුන් ඔබ දන්නෙහිය.
සඟවන්නත් ඔබ දන්නෙහිය
නිවැරදි කරන්න පමණක් නොදන්නෙහිය.
එසේ නම් මෙය කියවන්නේ පෙර පාසල් දරුවෙක්ද?
බත් පිඟානේ අමුමිරිස් කරපිංචා අහුලලා විසි කර බත් කන්න තේරෙනවාලු,
තම අඩුපාඩු හදන්න පමණක් තේරෙන්නැතිලු.
මේක මට තේරෙන්නෙත් නැහැ…
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්රාවක සංඝ