නිවීමේ පණිවිඩය රැගත්… 75

දහම් පදය
” අත්හැරීමක් ඇත. අත්හරින්නෙක් නැත.
සිටියොත් අත්හරින්නෙක් නැත එතන අත්හැරීමක්“
දහම් පදය නිර්වචනය
යමෙක් යමක් අත්හරින විට සත්තව ස්වභාවයක් උසුලයි නම්,
එම අත්හැරීම කවදා හෝ තවත් අත්හැරීමකට හේතුවක් වෙනවා නිසැකය.
ඔබෙන් උවටැන් ඔබට
ඔබ නිහඬ නම් විශ්වයම නිහඬය ඔබට !
ඔබ සංවර නම් විශ්වයම සංවරය ඔබට !
ඔබ නිහඬ නම් විශ්වයම නිහඬය ඔබට !
ඔබ පිළිවෙල නම් විශ්වයම පිළිවෙලයි ඔබට !
ඔබ හුදකලා නම් විශ්වයම හුදකලායි ඔබට !
ඔබ සැනසෙන්නේ නම් විශ්වයම සැනසීමකි ඔබට !
ඔබ අසරණ නම් විශ්වයම සරණකි ඔබට !
ඔබ නිශ්ශබ්ද නම් විශ්වයම නිශ්ශබ්දය ඔබට !
ඔබ නිවෙනවා නම් විශ්වයම නිවීමකි ඔබට !
කීමට නම් දහම් කරුණු අසංකෙයියකි.
මා කියන ලද දේ මට තේරුනාට අසන්නාට නොතේරෙන කාරණාව,
කියන විට ඇතිවන තෘප්තියට වඩා දුක වැඩිය.
හැසිරෙන්නෙපා…
අනුන්ට නින්දා කරන්නෙපා.
ඔබට නින්දා ලැබෙන විදියට හැසිරෙන්නෙපා.
අනුන්ට පිටුපාන්නෙපා.
ඔබට පිටුපාන විදියට හැසිරෙන්නෙපා.
අනුන්ට කරදර කරන්නෙපා.
ඔබට කරදර ලැබෙන විදියට හැසිරෙන්න එපා.
අනුන්ට බාදා කරන්නෙපා.
ඔබට බාදා ලැබෙන විදියට හැසිරෙන්නෙපා.
අනුන්ට බැඳෙන්නෙපා.
අනුන් බැඳෙන විදියට හැසිරෙන්නෙපා.
අනුන් රවට්ටන්න එපා
අනුන් රවට්ටන විදියට හැසිරෙන්න එපා.
අනුන්ගෙන් පළි ගන්න එපා.
ඔබෙන් පළි ගන්න විදියට හැසිරෙන්නෙපා.
අනුන්ට බොරු කියන්නෙපා.
ඔබට බොරු කියන විදියට හැසිරෙන්නෙපා.
අනුන්ගෙ දේවල් බලෙන් අල්ල ගන්න එපා.
ඔබේ දේවල් අල්ලගන්න විදියට හැසිරෙන්නෙපා.
අනුන්ට නොනිවෙන දේ දෙන්න එපා.
ඔබත් නොනිවෙන දේ ලබන්න එපා.
ලොකු දේවල් කරනවට වඩා මේ දේවල් කරන්න පුලුවන් නම් කොච්චර හොඳද?
ගුණ
ලෝකයේ තියෙන්නේ ගුණ විතරමයි.
අවාසනාවට දකින්නේ අගුණ විතරමයි.
කියන්න බැරිත් අනුන්ගේ ගුණමයි.
නොකිය ඉන්න බැරිත් අනුන්ගේ අගුණමයි.
නොකිව්වොත් අගුණ ඒක තමයි තමන්ගේ ගුණ.
කියන තරම් අගුණ ඒකයි තම අගුණේ තරම.
ගුණ දකින්න විවේකය දකින්නේය
ගුණ් පුරන්නා ප්‍රඥාව දකින්නේය.
ගුණ වඩන්නා විමුක්තිය ලබන්නේය.
ගුණ කියන්නා ප්‍රශංසාව අසන්නේය.
ගුණ දරන්නා පිළිගැනීම ලබන්නේය.
ගුණ දන්නා පාරමී පුරන්නේය.
ගුණ රකින්නා ලොව රකින්නේය.
ගුණ පිළිගන්නා ලොවට හිමිකම් කියන්නේය.
ගුණ සොයන්නා ධර්මය සොයන්නේය.
ගුණයෙන් සියලු අගුණ නිවන්නා නිවී යන්නේය.
පාලනය
ඔබේ කට පාලනය කරගන්න !
ඔබේ මසුරුකම පාලනය කරගන්න !
ඔබේ තණ්හාව පාලනය කරගන්න !
ඔබේ කපටිකම පාලනය කරගන්න !
ඔබේ මායම් පාලනය කරගන්න !
ඔබේ මාන්‍යය පාලනය කරගන්න !
ඔබේ උඬඟුකම පාලනය කරගන්න !
ඔබේ අසංවරය පාලනය කරගන්න !
ඔබේ නුරුස්සන ගතිය පාලනය කරගන්න !
ඔබේ හිතුවක්කාරම පාලනය කරගන්න !
ඔබේ වාචාලකම පාලනය කරගන්න !
ඔබේ රාගය පාලනය කරගන්න !
ඔබේ තෘෂ්ණාව පාලනය කරගන්න !
ඔබේ කිපෙන ගතිය පාලනය කරගන්න !
අනුන් හෙලා දැකීම පාලනය කරගන්න !
මෙය කරන්න පුලුවන් නම් ඔබත් දක්ෂ පාලකයෙකි ඔබට ඔබ!!!
දුරු කිරීම
තමකම දුරු කරන්න.
අසෝභන හැසිරීම දුරු කරන්න.
ගැටීම දුරු කරන්න.
අමනාපය දුරු කරන්න.
විරසක වීම දුරු කරන්න.
කිපෙන ගතිය දුරු කරන්න.
අලසකම දුරු කරන්න.
නොසැලකිලිමත්කම දුරු කරන්න.
ප්‍රමාදය දුරු කරන්න.
කෑදරකම දුරු කරන්න.
පීඩිත වීම දුරු කරන්න.
රැස්කිරීම දුරු කරන්න.
අස් නොකිරීම දුරු කරන්න.
රසට ඇති ලොල්කම දුරු කරන්න.
මතට ඇති කැදරම දුරු කරන්න.
දුමට ඇති පිපාසය දුරු කරන්න.
මෙසේ දුරු කරන්නාට දුරුවෙයි සසරත් සසර දුකත්!!!
“වෙලා තියෙනව නම් සෘද්ධිත් පාමු”
අනුන්හට හිංසා පීඩා නොකිරීමේ සෘද්ධිය පාන්න.
ලද දෙයින් සැනසීමේ සෘද්ධිය පාන්න.
කෙලේසයෙන් වෙන්වෙලා හුදකලා වීමේ සෘද්ධිය පාන්න.
තමකම නඩත්තු නොකිරීමේ සෘද්ධිය පාන්න.
ඉල්ලාගෙන කන සෘද්ධිය පාන්න.
පලිගන්නන්ගෙන් පලි නොගන්න සෘද්ධිය පාන්න.
නින්දා කරන්නන්ට නින්දා නොකරන සෘද්ධිය පාන්න.
හිංසා කරන්නන්ට හිංසා නොකිරීමේ සෘද්ධිය පාන්න.
පීඩා කරන්නන්ට පීඩා නොකිරීමේ සෘද්ධිය පාන්න.
කොපමණ වස්තුව තිබුනත් සරළව ජීවත් වීමේ සෘද්ධිය පාන්න.
තමන්ට වඩා අනුන් හට ගරු කිරීමේ සෘද්ධිය පාන්න.
පානවානම් ඔන්න සෘද්ධි…
ජීවිතය
ජීවිතය ඔබට අයිතියි කියා සිතෙනවද?
ඔබට වැරදිලා,
ඒක ඔබේ ජීවිතයක් නෙමෙයි.
ඔබට අයිති එකකුත් නෙමෙයි.
අනුන්ට දෙන්න පුලුවන් එකකුත් නෙමෙයි.
විඳින්න පුලුවන් එකකුත් නෙමෙයි.
පාලනය කරන්න පුලුවන් එකකුත් නෙමෙයි.
රකින්න පුලුවන් එකකුත් නෙමෙයි.
සදාකාලික එකකුත් නෙමෙයි.
සත්ත්වයෙකු නෙවෙයි.
පුද්ගලයෙකුත් නෙමෙයි.
ඒක ජීවිතයෙකුත් නෙමෙයි
“කර්මයෙන් සැකසිච්ච කර්මයෙන් හැදිච්ච කර්මයේ ක්‍රියාවලියක්”
භාර වුනොත් කර්මයට ඔබ නිදහස්.
වෙනස් කරන්න වුනොත් නිදහසට නෑ අදහස්.
ධර්මාවබෝධය
පෙනෙන දේ අවබෝධ කරගැනීමට නොවෙහෙසෙන්න. මන්ද ධර්මාවබෝධයට අවබෝධ විය යුත්තේ පෙනෙන දේ නොව “දකින්නේ කුමක්ද” යන්නය…
ඇසෙන දේ අවබෝධ කරගැනීමට නොවෙහෙසෙන්න. මන්ද ධර්මාවබෝධයට අවබෝධ විය යුත්තේ ඇසෙන දේ නොව ඇසෙන්නේ කුමක්ද යන්නය…
දැනෙන දේ අවබෝධ කරගැනීමට නොවෙහෙසෙන්න. මන්ද ධර්මාවබෝධයට අවබෝධ විය යුත්තේ දැනෙන දේ නොව “දැනගන්නේ කුමක්ද” යන්නය…
සිතෙන දේ අවබෝධ කරගැනීමට නොවෙහෙසෙන්න. මන්ද ධර්මාවබෝධයට අවබෝධ විය යුත්තේ සිතෙන දේ නොව “සිතන්නේ කුමක්ද” යන්නය…
මේ සඝ අවවාදයන්හි ඔබ කරන දේ ගැන, ඔබ සිදුකරන දේ ගැන අවධානය යොමුකරන්න. මන්ද ඔබ ඔබට හඳුගන්න පුලුවන් එතැනදීමය.
අනේ පවු!!
ඉන්න තැනක් සොයනවද?
කොතැනක සිටියත් සසරේ, සසරමනේ…
ඉතින් සෝතාපන්නද, සකෘදාගාමීද, අනාගාමීදැයි
ඉන්න තැනක් සොයන්නේ දැන් ඉන්න තැනට කුලී ගෙවන්න බැරි ප්‍රශ්ණයක්වත්ද?
පින්වත් දරුව!!!
රහත් වනතෙක් ඔබ සසරට සසර ඔබට.
කොතැන හිටියත්, කුමන ඵලයක සිටියත් සසරමනේ…
මම සෝතාපන්නදැයි නොවිමසා, තවම සසරේ බව පිළිගන්න.
එම ගුණය නිරෝධයට මඟ පෙන්වනවාට කිසිම සැකයක් නැත.
නිශ්ශබ්දය
නිශ්ශබ්දයත් එක්තරා ශබ්දයකි කිසිදා නොඇසෙන.
නිශ්ශබ්දය අවශ්‍ය වන්නේ ඔබට නොව ඔබේ සිතටය.
නිශ්ශබ්ද වන්නාට කන් නැතිවත් ඇසෙන්නේය. එය කන් ඇත්තාට කිසිදා නොඇසෙන්නේය.
පෘතුජ්ජන හැම වචනයක්ම ක්ලේෂයකි. සබ්දය එයට විකාශනයකි.
අවබෝධයට භාෂාවක් නැත.
ප්‍රකාශයට වචනද සොයාගෙන නැත.
කියන්නා කියන්නේ අවබෝධ වූ දේ නොව,
වචන වලින් කිවහැකි දේය.
ආර්ය අවවාදය
“කන් ඇත්තේ නමුත් බිහිරෙකු මෙන්ද”
බිහිරෙකුට නොඇසෙන්නේ යම් සේද ක්ලේශයන් හට ප්‍රතිචාරය එසේ විය යුතුය.
උපස්ථානය
තමන්ගේ වැඩක් බලාගන්න එකත් අනුන්ට කරන උදව්වක්.
අනුන්ගේ වැඩ වලට ඇඟිලි නොගහා සිටීමත් අනුන්ට කරන උදව්වක්.
අනුන්ගේ ගැන හොයන්නැතුව ඉන්න එකත් අනුන්ට කරන උදව්වක්.
දුන්නැති වුනත් කමක් නැහැ ඒ අයගේ දෙවල් ගන්නැතුව ඉන්න එකත් ඒ අයට කරන උදව්වක්.
අපට කරන්න බැරි දේ අනුන් කරනවා නම් පාඩුවේ කරන්න අරින එකත් ඒ අයට කරන උදව්වක්.
මේ උදව් ටික කවදා හෝ ජීවිතයේ කලාද?
නැත්නම් දැන් කරන්න.
සිතන්න නැවතත් සිතන්න, රහත් වනතෙක් සිතන්න
ඔබේ ලස්සන ඇඳුමෙන් පෙන්නන්න උත්සහ කරන්න එපා, ඒ ගැන සිතන්න.
ඔබේ හයිය දුබලයෙකු හරහා මතු කරන්න උත්සහ කරන්න එපා, ඒ ගැන සිතන්න.
සහකරුට සහකාරියට සහය දෙන්න උත්සහ කරන්න, සහය ගන්න උත්සහ කරන්න එපා, ඒ ගැන සිතන්න.
බඩගින්නට කෑම ගන්න, කෑදර කමට කෑම ගන්න උත්සහ කරන්න එපා, ඒ ගැන සිතන්න.
කොච්චර උපදෙස් දුන්නත් එම උපදෙස් තමන් පිළිපදිනවද? ඒ ගැන සිතන්න.
හැම කෙනාටම බනිනවා, දොස් කියනවා, අඩුපාඩු වෙන්දේසි කරනවා,
ඒ කියන කිසිම අඩුවක් එකක්වත් තමා තුළ නැද්ද? ඒ ගැන සිතන්න.
නැණයට පැනයක්
කොච්චර වැරදි කලත් තම දරුවා නිවැරදි නම්,
දරුවගේ හතුරා වෙන කවුරුත් නොව ඒ ‘ඔබය’
පොඩි ලමයටත් තේරෙනවා වැරදී කියා එහෙත් ගන්නේ බිරියගේ පැත්ත නම් බිරිය නරක් කරන්නේ වෙන කවුරුත් නොව ඒ ‘ඔබය’
කොච්චර දුන්නත් මදි නම් ඒ ලමයා මුලා කරන්නේ වෙන කවුරුත් නොව ඒ ‘ඔබය’
බැන්දාම ස්වාමියා අයිති මට විතරයැයි සිතන්නේ නම් ඔහුව තවකෙකුට අයිති කරන්නේ වෙන කවුරුත් නොව ඒ ‘ඔබය’
ඉන්න තැනක් තිබුනාම පිලිවෙලට ඉන්නේ නැත්නම් යන එන මං නැති කරගන්නේ වෙන කවුරුත් නොව ඒ ‘ඔබය’
හැම දේටම ආස කරනවා නම් රට හැමතැනම ණය වෙන්නේ වෙන කවුරුත් නොව ඒ ‘ඔබය’
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ