පිණ්ඩපාතය යනු මාගේ මාර්ගයයි
පිණ්ඩපාතය යනු තමන්ගේ මාර්ගය.
කෙටියෙන් කියනවා නම්, පිණ්ඩපාතය යනු මාගේ මාර්ගයයි. කොහොමද පින්ඩපාතය තමන්ගේ මාර්ගය වෙන්නේ, පාත්තරය අරගෙන ගමට වැඩියාම නානාප්‍රකාර සත්ව කොට්ඨාස මගේ ප්‍රඥාවට ගෝචර වෙනවා.
හොඳට සිහියෙන් ශ්‍රවණය කරන්න, ඇහැට පේනවා කියන කථාවක් මම කිව්වේ නැහැ. නෙතට ගැටෙනවා කියලා කථාවක් මම කිව්වේ නැහැ. අදුන ගන්න කථාවකුත් කිව්වේ නැහැ. ප්‍රඥාවට ගෝචර වෙනවා.
එහෙනම් මේක තුන්වෙනි ඇහැට පේන එකක්. ඇස් දෙකට පේන එකක් නෙවෙයි. පිණ්ඩපාතේ චර්යාවේ යනකොට පින්ඩපාතේ මගේ මාර්ගය නම්, ඒක මගේ මාර්ගයක් විදිහට නම් මං ඒක පුරුදු පුහුණු කරන්නේ, විවිධ සත්ත්ව කොට්ඨාස මගේ ප්‍රඥාවට ගෝචර වෙනවා.
මේ සත්ත්වයා මේ භවයේ නිවන් දකින්නේ නැහැ. මේ සත්ත්වයා මේ හැසිරෙන විදිහෙන් නම් පුදුමාකාර විදිහට ලෝභයි. මේ සත්ත්වයා ද්වේශ සහගතයි. මේ සත්ත්වයා තිසරණයේ පිහිටලා නැහැ. මේ සත්ත්වයා හරිම සිල්වත්. දැන් මේ විදිහට මගේ ප්‍රඥාවට ගෝචර වෙනවානේ. විනිවිද භාහිරව තියෙන දේවල් නෙවෙයි, ඒ අයගේ විනය, සංවරකම, හැසිරීම, චරිත, චරිතවල තියෙන ශේෂ්ඨත්වය, ඒ චරිතවල තියෙන අඩුපාඩු දුර්වලකම් මේ හැම එකක්ම මගේ ප්‍රඥාවට ගෝචර වෙනවා. හොඳ ටික ඔක්කෝම ගත්තා. නරක ටික හෝදලා අතහැරියා.
මාස තුනක් පිණ්ඩපාතේ යනකොට මගේ චරිතය සම්පුර්ණයෙන්ම කණපිට හැරිලා. පන්සීයක් විතර මිනිස්සු දවසට මුණගැහෙනවා නම්, අඩුම තරමින් සීයක් විතර ගුණ එකතු වෙන්න එපාය. නිහතමානීකම, ඒ නිහතමානීකමේ විශේෂත්වය. සමහර ඒවා වල තියෙනවා නේ ‘කොලිටි’ එකක්. ඉවසීම සීයක තිබුණොත් සිය ආකාරයිනේ. එක එක්කෙනා ඉවසන ක්‍රම තියෙනවා. ඒ හැම එකක්ම වෙන වෙනම ගවේෂණය කරලා වෙන වෙනම ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා.
බත් බෙදන කෙනා කොහොම බෙදුවත් ඒ බෙදන දේ තුළ එයාගේ ලෝභය එයා එළියට දානවාමයි. පලවෙනි හැන්දට එන බත්ටික දෙවෙනි හැන්දේ එන්නේ නැහැ. අත් වහන්නේ නැතුව ඉඳලා බලන්නකෝ. එයා තීරණය කරලා තියෙන්නේ හැඳි තුනක් නම්, හතර නම් එතනින් එහාට නතර කරලා එයාම තීරණය කරනවා දැන් මං ව්‍යංජන බෙදන්නේ කියලා. හැබැයි ඉල්ලන්නේ මං බත්. එයා කියනවා “ නෑ.. අනිත් අයටත් බත් දෙන්න ඕන නේ, එක්කෙනාට දුන්නාම කොහොමද? එහෙම දෙන්නේ නැහැ.” හැබැයි හොඳටම දන්නවා මේ බත් ටික උන්වහන්ස්සේට මදියි කියලා.
“ඒ මදි ටික වෙන තැනකින් ගන්න”
ලැබුනේ නැත්නම්?
“ඒක මට අදාල නැහැ” කොහොමද ඒ චරිත ස්වභාවය…
දැන් මේක හරියට දැක්කාම, දැන් ඒ වගේ දුර්වල අඩුපාඩුකම් මගේ තුල වෙන්නේ නැහැනේ කවදාකවත්, ඇයි මට ඒ ප්‍රඥාව ඇවිල්ලානේ. ඒ ධර්මතාවය මට ස්පර්ශ වෙලානේ.
‘අවශ්‍ය දේ අවශ්‍ය කෙනාට අවශ්‍ය පමණ දෙන්න’ කියන ධර්මතාවය දැන් එතන තිබිලා නැහැනේ.
“මට හිතෙන දේ දෙන්නේ, මට අවශ්‍යයි කියලා හිතෙන දේ දෙන්නේ, මගේ ප්‍රමාණයට අනුව දෙන්නේ, ඉතුරු ටික ඉල්ලගත්ත දෙන් කොහෙන් හරි”
දුන්නේ නැත්නම්?
“ඒක ඉතින් මට අදාළ නැහැ, මගේ කොටස මම දුන්නානේ, එක හැන්දයි.”
මේ විදිහට අපි පිණ්ඩපාතේ යනකොට නානාප්‍රකාර ධර්මස්කන්ධ, විවිධ චරිත, විවිධ පාරමී, විවිධ ගුණ, විවිධ අගුණ, විවිධ අඩුපාඩු දුර්වලකම්, විවිධ ශේෂ්ඨ උතුම් හැසිරීම්, චරිත අපිට මුණගැහෙන්නේ නැද්ද? ඒවා එකතු කරන්න මේ යන්නේ.
අපි හිතනවා පිණ්ඩපාතේ යන්නේ බත් ටිකක් ගන්න කියලා. හරි ඒක වැරදි නැහැ. දානේ ටිකක් කුස ගින්න නිවාගන්න, ඉල්ලගන්න තමයි යන්නේ. හැබැයි ගුණධර්ම එකතු කරන්න යන එකක් ප්‍රඥාවෙන් දැක්කේ නැහැ?. මම වාඩිවෙලා ගහක් යට ඉදලා මම තේරුම් අරන් අරන් අරන් මට පුළුවන් තරම් තේරුම් ගත්තා. හැබැයි තේරුම් ගන්න බැරි ටික?. දැකලා තේරුම් ගන්නවා, අහලා තේරුම් ගන්නවා,
එහෙනම් ඇහෙන්, කනෙන්, හැඟීමෙන්, ඉරියව්වෙන්, ප්‍රඥාවෙන් තේරුම් ගන්න අවශ්‍ය නාම රූප ඕන නේ. අලුත් අදහසක් එන්න මොනවාහරි එකක් දකින්න එපාය. සමහර විද්‍යාඥයෝ නාගෙන ඉන්න ගමන් තේරිලා තියෙනවා සමහර දේවල්. අවුරුදු ගාණක් පරික්ෂණ කරලා කරලා කරලා තේරිච්ච නැති එකක්, නිකන් ෂවර් එකෙන් වතුර වැටෙනකොට එයාට තේරිලා තියෙනවා. වතුර බොනකොට තේරිලා තියෙනවා. නිකං හාන්සි වෙලා නිදාගෙන ඇලවෙලා ඉන්නකොට, ගහෙන් ගෙඩියක් වැටෙනකොට තේරිලා තියෙනවා. කොහොමද ඒක වුනේ? ඒක ධර්මතාවයක්!
එහෙනම් අපිත් පිණ්ඩපාතේ ගිහාම අපිට ගස්වලින් ගෙඩි කීයක් වැටෙනවාද? අපිට හොදි ව්‍යංජන කොච්චරක් පාත්තරයට වැටෙනවාද? මිනිස්සු මොනතරම් අපට අපේ ප්‍රඥාවට ගෝචර වෙනවාද? චරිත කීයක් අඳුර ගන්නවාද? අඩුපාඩු දුර්වලකම් කීයක් අපිට අවබෝධ වෙනවාද? ශේෂ්ඨ චරිත, ශේෂ්ඨ හැසිරිම්, ගුණධර්ම කීයක් අපට මුණ ගැහෙනවාද? ඇයි ඒවා එකතු කරන්නේ නැත්තේ? ඒවා පින්ඩපාතේ කරන්නේ නැත්තේ?
එහෙනම් දානේ ඉල්ලගන්න ගියා නෙවෙයි. මගේ ප්‍රඥාවට තෙරෙන්නේ නැති ධර්ම කාරණා ගවේෂණය කරලා, අවබෝධ කරලා මට අවශ්‍ය ගුණධර්ම ටික ඉල්ලගන්න, චරිත ටික ඉල්ලගන්න, හැසිරීම් ටික ඉල්ලගන්න, ඉරියව් ටික ඉල්ලගන්නත් එක්ක තමයි යන්නේ. ඒවා ප්‍රඥා පින්ඩපාත. මේක කබලිංක ආහාර පිණ්ඩපාත, ඒක පාත්තරයට වැටෙනවා. අරක ඔළුවට වැටෙනවා. සම්පුර්ණ ඔළුව නිවැරදි වෙනවා. මනස නිවැරදි වෙනවා. අවබෝධයෙන් යුක්ත වෙනවා. අවුරුදු හතක් පින්ඩපාතේ කරන භික්ෂුව මහා ප්‍රඥාවන්තයි. නිවැරදිව මාර්ගයක් විදිහට පින්ඩපාතේ ගියා නම්, කමටහනක් විදිහට පින්ඩපාතේ ගියා නම්, ප්‍රඥාවෙන් පින්ඩපාතේ ගියා නම් මාස තුන යනකොට සෝතාපන්නයි.
ඇයි එයා ඒ ව්‍යංජන ව්‍යංජන විදිහට දකින්නේ නැහැ. බත් බත් විදිහට දකින්නේ නැහැ. මොන විදිහට දැම්මත් මේ ඔක්කෝම එකට ඇනුනාම ඒ කියන ව්යංජය එකක්වත් මෙතන නැහැ. එහෙනම් ආමාශයට ගියාට පස්සේ මොකවත් එතන නැහැ. ශක්තියක් විතරයි.
එහෙනම් මේවා මොනා විදිහට හැදුවත්, කොච්චර රසට හැදුවත්, වෙන වෙනම හැදුවත් කන්න වෙන්නේ අනලා.
කොච්චර හැංගිලා ඇතුලේ ඉදලා මේකප් කරලා හොඳට ලස්සනට රජ ඇදුම් ඇදලා, ඔටුනු දාලා සැරසුනත් නටන්න වෙන්නේ ප්රසිද්ධියේලූ. ඉතිං ප්‍රසිද්ධියේ මෙකප් එක දැම්මාම ඉවරනේ. ඇයි හැංගිලා දාන්නේ? හැංගිලා වෙස් බැන්දට හරියන්නේ නැතිලු නටන්න වෙන්නේ ප්රසිද්ධියේලු.
මොනතරම් තැල්කොළ ව්‍යංජනය වෙනම, එළබටු ව්‍යංජනය වෙනම, අල කෑල්ල වෙනම කියලා කොච්චර ගත්තත් වළදන්න වෙන්නේ අනලා. මෙන්න මේක තේරුම් ගත්තානම් සෝතාපන්න වෙන්න විනාඩි පහක් ඇති. පිළිවෙලට දෙනවා. සෝයා වෙනම දෙනවා, පරිප්පු වෙනම දෙනවා, පොළොස් කැල්ල පරිස්සමෙන් හැන්දෙන් අරන් ඇතුළෙන් පැත්තකින් තියනවා. මොනවා තිබ්බත් වළදන්න වෙන්නේ අනලානේ.
එතකොට මේ තියෙන පරිස්සම කෝ? පිළිවෙල කෝ? ඔක්කොම ඉවරනේ, ඉඳුල් වෙනවනේ.
මේක දැනගත්තාම මේ ලෝකේ මොනවා ගත්තත් වැඩක් නැහැ. රූපයක් ගත්තාම ඒ රූපේ තැන්පතුත් එක්ක මිශ්‍ර වෙනවා. බාහිර ලෝකේ නාම රූපත් එක්ක ආයේ මිශ්‍ර වෙනවා. ඉඳුල් වෙනවා. පිරිසිදුවට මම රූපයක් ගත්තට වැඩක් නැහැ ඒ ඔක්කොම මිශ්‍ර වෙනවා. ශබ්දයක් ගත්තට මොන තරම් ලස්සනට පිරිසිදුවට ගත්තත් වැඩක් නැහැ තැන්පතුත් එක්ක මිශ්‍ර වෙලා, බාහිර ලෝකෙත් එක්ක මිශ්‍ර වෙලා,අත්දැකීම් එක්ක මිශ්‍ර වෙලා, සමාජයත් එක්ක මිශ්‍ර වෙලා, ඒක ඒකට ඕනෑ විදිහටලු ඇහෙන්නේ, පෙන්නේ, දැනෙන්නේ. මට ඕනෑ විදිහට ඇහෙන්නෙත් නැහැ, පෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ.
අර වෙන වෙනම හම්බුනාම වළදනකොට අනනවා වාගේ. හැංගිලා වෙස් බැඳලා පන්දාහක් ඉදිරියේ ප්‍රසිද්ධියේ නටනවා වාගේ. මාර වැඩේ මෙච්චර ප්‍රසිද්ධියේ නටන්නද මේ මනුස්සයා මෙච්චර හැංගිලා මේවා ඇන්දේ. මේක ප්‍රඥාවෙන් විමසනවා නම්, තුන්වෙනි ඇසෙන් අපි ඒක බලනවා නම්, ප්‍රඥා ඇසට පමණක් ඒක ගෝචර කරනවා නම්, පිණ්ඩපාතයක් පිණ්ඩපාතයක් වෙන්නේ නැහැ. ඒක මාර්ගයක් බවට පත්වෙනවා.
ඒ නිසා තමයි අද දවසේ චින්තනය ‘පිණ්ඩපාතය යනු මාගේ මාර්ගයයි’ කියන එක.
මේ මානසිකත්වයෙන් ඒ විදිහට ගවේෂණය කරලා. තුන්වෙනි ඇසෙන් ධර්මස්කන්ධ ගෝචර කරලා, ගණුදෙණු කරලා මාර්ගය වඩන්න.
තෙරුවන් සරණයි.
