ක්‍රියාවලියක් ඇත, කරන්නෙක් නැත
දවසේ චින්තනය, ක්‍රියාවලියක් ඇත කරන්නෙක් නැත. එහෙනම් කවුද ඉන්න ඕනේ එතන?
‘නරඹන්නෙක්’.
ක්‍රියාවලිය මට අදාළ එකක් නෙවෙයි. මා විසින් කරන එකක් නෙවෙයි. මගේ එකක් නෙවෙයි. ක්‍රියාවලියක් තියෙනවා, ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා, බලාගෙන ඉන්න නරඹන්නෙක් ඉන්නවා. එයා බලාගෙන ඉන්නවා.
කයක් පින්ඩපාතේ යනවා. ඒ කයට දන් පැන් හම්බවෙනවා.
ඒ කය ඒ දන් පැන් බොහොම සංතෝෂයෙන් පිළි අරගෙන සැනසෙනවා.
කයක් තියෙනවා පිණ්ඩපාතේ යනවා. කැමති දේවල් හම්බවෙන්නේ නැහැ. ද්වේෂ සහගත වෙනවා.
කයක් තියෙනවා පින්ඩපාතේ යනවා. බලාපොරොත්තු වෙච්ච ව්‍යංජන හම්බුනේ නැහැ. ගැටෙනවා.
කයක් තියෙනවා පිණ්ඩපාතේ යනවා. අවශ්‍ය තරම් බෙදුවේ නැහැ. අමනාප වෙනවා.
කයක් තියෙනවා පිණ්ඩපාතේ යනවා. බෙදන කෙනා සංවර නැහැ.
ඒ නිසා නැවත මෙහෙට වඩින්නේ නැහැ කියන දැඩි තීරණයකට පත් වෙනවා.
මේ හැම අවස්ථාවක්ම වෙන වෙනම ක්‍රියාදාමයක් විදිහට දකිනවා.
ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. නරඹන්නෙක් ඇත.
මට වෙන සියලූම දේවල් අයිතියක් නැතුව සක්කාය දිට්ඨියෙන් මිදිලා පුද්ගල සත්ව ස්වභාවයෙන් තොරවෙලා
ඒ ක්‍රියාවලිය සම්මා සතිය පිහිටවගෙන සිහියෙන් දකිනවා.
කයක් ගිහිල්ලා පින්ඩපාතේ කරගෙන, ඒ හම්බෙන ඕනෙම ව්‍යංජනයකට සැනසිලා, සෑහීමට පත්වෙලා, රැගෙන ඇවිල්ලා ප්‍රත්‍යවෙක්ෂාව කරලා සුවසේ වළදලා, ඒ වළදපු දානයෙන් ඇති කරගත්තා වූ ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාව පාවිච්චි කරලා එයා සම්බුද්ධ ශාසනයේ ගුණ පුරනවා, අඩුයි දුර්වලකම් කියන දේවල් නිවැරදි කරනවා. යහපත් විදිහට කටයුතු කරනවා. එයා සසර දුක අඩුකරගන්නවා. එයා දිහා හොඳට බලාගෙන ඉන්නවා.
මොනවද ඊළගට කරන්නේ? එයා භාවනාත් කරනවා. අප්‍රමාණ ගුණ පුරනවා. අනිත් අය දිහා බලලා ඒ අයගේ චරිත ගුණාංග, යහපත් දේවල් එකතුත් කරගන්නවා.
මේ ඔක්කොම සම්මා සතියෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉද්දි එයාගේ ප්‍රඥාව වැඩි වෙලා මාර්ග ඵල නිවන් අවබෝධ කරගන්නවා.
මේක තමයි දවසේ චින්තනය, පුද්ගල සත්ත්ව ස්වභාවය, සක්කාය දිට්ඨියෙන් තොරවෙලා ක්‍රියාවලියක් විදිහට අපගේ ජීවිතය අපි දකින එක. හැම චලනයක්ම, හැසිරීමක්ම, හැම මොහොතක්ම, හැම ඉරියව්වක්ම ක්‍රියාවලියක් විදිහට දකිනවා මම, මගේ, මම වෙමි කියන තැන ඉන්නේ නැහැ. මම කරන්නෙත් නැහැ. ස්වභාවිකවම, ස්වයංක්‍රීයවම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන තැන මානසිකත්වය පිහිටවලා සිහිය පවත්වනවා.
තෙරුවන් සරණයි.
