දවසේ චින්තනය 12 – ප්‍රාර්ථනාව

 ප්‍රාර්තනා කරන එක වරදක් නෙමෙයි හැබැයි ඒ ප්‍රාර්තනාවට අදාල සුදුසුකම මට තියෙනවද කියන එක ගොඩක් වැදගත්, ඒ ගැන හිතන්නෙ නැති එක ලොකු වරදක් විදියටයි මම දකින්නේ. 

අද මට ඇඹුල් අවශ්‍යයි ඒ නිසා මට දෙහි ගෙඩියක් පූජා වුනොත් හොඳයි කියලා හිතන එක වරදක් නෙමෙයි.
මට දෙහි ගෙඩියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක වරදක් නෙමෙයි.

හැබැයි දෙහි ගෙඩියක් ලැබෙන්න හේතු තියෙනවද කියලා හොයලා බලපු නැති එක වරදක්..!
දෙහි ගෙඩිය ලබන්න හේතු මට සැකසිලා තියෙනවානම්, ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ. අපිව දැක්කාම දෙහි ගෙඩියක් පූජා කරන්න, එහෙම නැත්නම් ගහේ හොඳට කහ පාට වෙලා ඉදිලා තියෙන දෙහි ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා පූජා කරන්න
ඒ මිනිස්සුන්ට සිතිවිලි පහල වෙනවා..!

එහෙනම්, මට ලැබෙන සියලු දේවල් මට දැන් ලැබෙන්න තීරණය වුන එකක් නෙමෙයි, අවුරුදු ගානකට කලින්
තීරණය වෙච්ච එකක්.
සමහර භව වල අපි දානෙ දීලා තියෙනවා, ඒ දානට හේතුවක් වෙලා ඵලයක් වෙලා අපිට දානයක් වෙලා ලුණු ඇඹුල් විදියට අපේ අතට ලැබෙන්නේ භව සීයකට පස්සේ නම්, අද මට ලැබෙන දාන​ය භව සීයකට කලින් දුන්න දානයක ප්‍රතිඵලයක් නෙමෙයිද?

කණ්නාඩිය අතට අරන් බැලුවාම මූණටයි කණ්නාඩියටයි අඩියයි නේ, එතනම පේනවා., ඇල්ලුවාම අහු වෙනවා,
‘දිට්ඨධම්මවේදනීය කර්ම’

බිත්තියේ කණ්නාඩිය තියෙනවා, දුර ඉඳලා බලනවා.. යන ගමන් ඈත තියෙන කණ්නාඩියෙන් ඈත ඉඳන් බලන් යනවා, කණ්නාඩියටයි මටයි තියෙන දුර..?‍‍

මේ චෛතසිකත් එහෙමලු. නිර්මානය කරන දේවල් එලියට ගිහිල්ලා නැවත අපි ලඟට එන්න යන කාලය තමයිලු ඒක ප්‍රතිඵල දෙන කාලය විදියට තීරණය වෙන්නේ...

ඒක සමීකරණයක්, භෞතික විද්‍යාවක්, ගණිතයක්, විශ්ව ධර්මතාවයක්, විශ්ව නීතියක්..

එහෙනම් අද මට මේ ලැබෙන දානය, භව ගානකට කලින් ඇති වෙච්ච හේතු ගානකට අනුව නිර්මාණය වෙච්ච එකක්..!
ඒකට අදාළ කර්ම තියෙන කට්ටියව මෙතනට ගෙනැල්ලා, මෙතැන ඉපදිලා, මෙතැන වයසට ගිහිල්ලා, කසාද බැඳලා, ගෙවල් දොරවල් හදලා, ලිප් හදලා, හැලි වළං හදලා පාන්දර තුනට නැගිටලා, හාල් ලිපේ තියලා, උයලා...
අග්‍ර කොටස තියාගෙන පාරේ හිටගෙන ඉන්නවා..!

මම අව​දි වෙලා තියෙන්නෙත් පාන්දර තුනට, මාර වැඩේ මට දානෙ දෙන්න ඒ මිනිස්සු දෙකට නැගිටලා..! මටත් කලින් හාල් ලිපේ තියලා..!

මෙන්න මේ ධර්මතාවය අපි දකින්න ඕනේ..! මේවා නිකන් සිද්ධ වෙන්නේ නෑ, මට කනට ඇහෙන යම්කිසි අවවාදයක් අනුශාසනාවක්, තරවටුවක්, නින්දාවක්, ඇහැට පේන රූපයක්, වර්ණයක්, කටට දැනෙන රසයක්, ස්පර්ශයක්...

මේ හැම එකක් ම සෑහෙන කාලෙක තීරණය වෙච්ච එකක්..! හේතු ගණනාවක් එකතු වෙලා නිර්මාණය කරන ධර්මතාවයක්. අහඹු සිදුවීමක් නෙමෙයි, හදිසියේ හටගත්ත එකක් නෙමෙයි.

මල් නිකං පිපෙන්නේ නෑනේ, මේ ගහේ මල් පිපෙන්නේ දහ අට දාහක් නම්, ඒ බීජයේ අංකුරයේම තීරණය වෙලා දහ අට දාහා... කාලෙන් කාලෙට මල් පිපිලා පරවෙලා දහ අට දාහා සම්පූර්ණ වුනාම ගහත් මැරිලා පොලොවට පස් වෙලා යනවා..!

එහෙනම් ගහක් බීජයක් වශයෙන් තියෙනකොට, ඒකේ හටගන්න මල් ගාන, පරවෙන මල් ගාන, ගෙඩි බවට පත් වෙලා ඒකේ හටගන්න ඵලදාව ගහේ ආයුෂ, ඔක්කොම ටික තීරණය වෙලා නම්..

මෙච්චර උතුම් මිනිසක් භවයක ඉපදුන මට කොච්චර දේවල් තීරණය වෙලා තියෙන්න ඇතිද? හැම බත් ඇටයක්ම තීරණය වෙලා තියෙන්නේ...
මොනවද ලැබෙන්නේ, ඒක තමයි ලැබෙන්න තීරණය වෙලා තියෙන්නේ,
‘අනේ මට මේ දේවල් ලැබුනේ නෑනෙ,’ එහෙනම් ඒ දේවල් නොලැබෙන්න තීරණය වෙලා..!

මෙසුවලාගෙන් මට හැන්දයි නම් ලැබෙන්න තියෙන්නේ, එයාට පූජා කරන්න හිතෙන්නේ හැන්දයි..!
කොච්චර එතන හිටගෙන හිටියත් එයාට දෙන්න හිතෙන්නේ නෑ.
වැඩිපුර කවුරු හරි බෙදනවා නම්, ඒක ශ්‍රද්ධාවට බෙදනවා නෙමෙයි. එයාගෙන් වැඩිපුර ලබන්න මට හේතු තිබිලා. හේතු ඵල දහමෙන් දකින්න.

සංවර්ධන ලොතරැයියක් ඇදුනා වගේ ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ මේවා. වඩලා පුරුදු කරලා හේතු සකස් කරාම, මොකවත් කරන්න ඕනේ නෑ ඒවා ඉබේටම සිද්ධ වෙනවා. හේතු තමයි සකස් කරන්න ඕනේ.

හේතු සකස් කරන්න නිවනට, ප්‍රතිඵලය නිවන. මෙන්න මේ හේතු ඵල දහමත් එක්ක මේ සිද්ධ වෙන සියලුම දේවල්, සිද්ධ වෙන්න තියෙන දේවල්, ඇහෙන්න තියෙන දේවල්, පේන්න තියෙන දේවල්, වෙන්න තියෙන දේවල්, ඒ හැමදේම වෙනවා.

මමත් මේ විශ්වයේ පරිණාමයේ යම්කිසි නාමයක් රූපයක්. මම විශ්වයට අනුගත වෙනවා.
පොලීසියට ගිහින් භාර වෙනවා, උසාවියට ගිහින් භාර වෙනවා, ඒ වගේ මම විශ්වයට භාර වෙනවා.

ඕන දෙයක් මට වෙච්චා දෙන්, බැනුම්..? ලැබිච්චා දෙන්, දෙයියනේ හොඳට බනින්න..
දානේ..? දෙන්න වලඳමු...

නින්දා ප්‍රශංසා..? දෙකම එකට දකිනවා.. කැමැත්ත අකැමැත්ත දෙක එකට දකිනවා, ලාභ අලාභ දෙක එකට දකිනවා... අටලෝ දහම සන්තෝසයෙන් භාර අරගෙන ඒකත් එක්ක අනුගත වෙලා ජීවත් වෙනවා.
ඒ භික්ෂුව හරිම ශ්‍රේෂ්ඨයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ගෞරවය උසුලන්නෙක්. උන්වහන්සේ මහණකම උසුලනවා නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ගෞරවය උසුලනවා...!
මෙන්න මේ ධර්ම කාරණාව, දවසේ චින්තනය පුරුදු පුහුණු කරන්න.

තෙරුවන් සරණයි.

Scroll to Top