දවසේ චින්තනය 19 – විශ්වයේ නිර්මාණය


විශ්වයේ අවශ්‍යතාවයට මාව නිර්මාණය කරා…


විශ්වයේ අවශ්‍යතාවයට තමයි මේ සේරම නිර්මාණය වෙලා තියෙන්නේ,
අඹ ගස් වත්, තේක්ක ගස් වත්, බුරුත ගස් වත්, හල්මිල්ල ගස් වත්, බල්ලෝ බළල්ලු, ගෝන්නු, මුවෝ, මිනිස්සු, පක්ෂියෝ, මහ පොළොව, ආපෝ ධාතුව, ආලෝකය, සුළඟ, මේ මොකක් වත් මගේ උවමනාවට හදපුවා නොවෙයි
සියළුම සඤ්ඤා සංස්කාරයන් විශ්වයේ උවමනාවට තමයි හැදිලා තියෙන්නෙ… මම විශ්වයේ ක්‍රියාවලියට අනුගත නම්, විශ්වයට එකඟ නම්,


විශ්වය විසින් මාව පෝෂණය කරනවා, මාව ආරක්ෂා කරනවා, විශ්වයෙන් නිර්මාණය කරපු විශ්ව පුත්‍රයෙක් විදියට මාව ඉදිරියට රැගෙන යනවා.


බැරි වෙලාවත්, විඤ්ඤාණය තියෙන නිසා, මට ඕන දේවල් හිතලා දැනිලා කරලා, එකක් කරන්න පටන් ගත්තොත්,
විශ්වයේ අවශ්‍යතාවයට මාව නිර්මාණය කළාට, විශ්වයේ ක්‍රියාවලියට මම විරුද්ධයි. විශ්වයට මම එකඟ නෑ….
විශ්වය කියලා කිව්වේ පරිසරයට, ස්වභාවධර්මයට. ඒකට මම විරුද්ධයි, එකඟ නෑ. එහෙනම් මට බත් කාලා ඉන්න දෙන්නේ නෑ. පොලිසියෙන් එනවා, උසාවියෙන් එනවා, වරෙන්තු එනවා, නඩු එනවා.
අල්ලපු ගෙදර මනුස්සයා රවනවා, දත් මිටි කනවා, ලිස්සලා වැටෙනවා, පොල් ඔලුවට වැටෙනවා… නිකන් මිනිස්සු එක්ක දබර වෙලා දත් කැඩෙනවා.


විශ්වයෙන් මට දෙන්න තියෙන උපරිම දඬුවමයි, උපරිම දුකයි මට උරුම කරලා දෙනවා.
විශ්වයේ උවමනාවට, විශ්වයේ අවශ්‍යතාවයට මේ සියළුම දේවල් නිර්මාණය උනා. මමත් විශ්වයේ අවශ්‍යතාවයට විශ්වය විසින් නිර්මාණය කරපු සත්ත්වයෙක්, ජීවියෙක්. එහෙනම් මම විශ්වයට අනුගත වෙලා, විශ්ව ක්‍රියාදාමයට එකඟ වෙලා විශ්වයට ඕනෑ විදියට ජීවත් උනොත්, ස්වභාවධර්මයට එකඟ වෙලා, එකමුතු වෙලා සමඟියෙන් වාසය කෙරුවොත්, ජීවත් වෙන්න මහන්සි වෙන්න දෙයක් නෑ, විශ්වයෙන්ම මාව ජීවත් කරවනවා. පෝෂණය කරවනවා.


හැම අවස්ථාවක ම ඉදිරිපත් වෙලා මම වෙනුවෙන් කටයුතු කරනවා. මේක ධර්මතාවයක්, සමීකරණයක්.
අපි විශ්වයට විරුද්ධ වෙන හැම මොහොතෙ ම, විශ්වයේ සියළුම නාම රූප අපට විරුද්ධ වෙනවා. සියලු සඤ්ඤා සංස්කාර අපට දුකක් බවට පත් වෙනවා. ඇයි ඒ? විශ්වයට එකඟ නෑ…


විශ්ව ක්‍රියාදාමයට එකඟ නෑ. මේ ස්වභාවධර්මයට, මේ පරිසරයට එකඟ නෑ. ඒ නිසා හැමතැනින්ම, හැම සඤ්ඤා සංස්කාරයකින් ම දුක පහරදීමක් සිද්ධ වෙනවා.
විශ්වයේ අවශ්‍යතාවයට මාව නිර්මාණය කරා, එහෙනම් විශ්වයේ ක්‍රියාදාමයට මම එකඟ වෙන්න ඕනේ.
විශ්වයට අනුගත වෙන්න ඕනේ, විශ්වයට කීකරු වෙන්න ඕනේ. ස්වභාවධර්මයා එක්ක සමඟියෙන් ඉන්න ඕනේ. ස්වභාවධර්මයා එක්ක එකමුතුව කටයුතු කරන්න ඕනේ, වාසය කරන්න ඕනේ.


එහෙනම් මම විශ්ව පුත්‍රයෙක්. කවදාකවත් මට දුකක් එන්න බෑ, වරදින්නත් බෑ. වැරදුනත්, ඒ වැරදිච්ච එක යහපත් විදියට දකින්න පුළුවන් මනස විශ්‍වය මට දෙනවා…


ඒක නිවැරදි කරගන්න අවශ්‍ය ප්‍රඤ්ඤාව මට දෙනවා. මාව මහපොලොවට එවලා මට බත් දෙන ගොවියෝ ටිකත් කලින් එවලා. මට සිවුරු මහන ටේලර්ලා ටිකත් කලින් එවලා. මට පාත්‍රය හදන කම්මල්කරුවාව කල් ඇතුවම එවලා, මට ඇවිදින්න පුළුවන් විදියට කලින් ම පාර හදලා. මම වාසය කරන රක්ෂිතයේ මාව පෝෂණය කරන්න ගමක් හදලා ඒකේ මිනිස්සු පදිංචි කරවලා.
බලන්න… මෙච්චර දේවල් විශ්වය මට කරලා, ඒත් මං විශ්ව ක්‍රියාදාමයට එකඟ නෑ. ක්‍රියාවලියට අනුගත නෑ… ඒක නිසා තමයි මට මෙච්චර ප්‍රශ්න, මෙච්චර කරදර, මෙච්චර දුක..!


විශ්වයේ අවශ්‍යතාවයට සියලු දේවල් නිර්මාණය කරලා, විශ්වයේ ක්‍රියාදාමයට අනුව විශ්වය මේ දේවල් නඩත්තු කරනවා… විරුද්ධ වුනොත් එයාට පහර දෙනවා..! එකඟ උනොත් එයාව ආරක්ෂා කර ගන්නවා. මෙන්න මේක අද දවසේ චින්තනය. මේ විශ්ව සමීකරණය නිතර සිහි කරන්න. ඒකත් එක්ක වාසය කරන්න . ඒකට අනුව ජීවිතය හැඩගස්වන්න.

තෙරුවන් සරණයි.

Scroll to Top