දවසේ චින්තනය 17 – සක්කාය දිට්ඨි​ය

මම කියන්නේ මම නෙවෙයි, මම හිතන මානසිකත්වය. මම හිතනවා නම් මම භික්ෂුවක් කියලා, මගේ සක්කාය දිට්ඨිය ‘භික්ෂුව’. මම හිතනවා නම් මම ගොඩක් සිල්වත් කියලා, මගේ සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය ‘සිල්වතා’ කනගාටුදායකයි. සිල්වතාත් සක්කාය දිට්ඨියක් තමයි.


සමහර අභිරහස් තියෙනවා අනාගතයේ කියන්න තියෙන්නේ, දැන් කිව්වොත් කලන්තේ දාලා වැටෙනවා ගොඩක් අය.
“ස්වාමින් වහන්ස මෙහෙමත් දෘෂ්ඨි තියෙනවාද?”
“මෙහෙමත් මුලාවල් තියෙනවාද?”
“මේ විදිහටත් මට වැරදිලා තියෙනවාද?”
“මට හරිගිය තැනක් නැහැනේ, ඇත්තටම කොහෙවත් නැහැනේ!” දරාගන්න බැහැ.
කාලෙන් කාලෙට පොඩ්ඩ පොඩ්ඩ තමයි කියන්න ඕන.

postpaid නම් සිම් එක මාසේ අන්තිමටනේ බිල එන්නේ, ඕනෙ තරම් කථා කරනවා. පැය ගණන් කථා කරනවා. හැබැයි prepaid නම් එයා ගොඩක් පරිස්සමෙන් කතා කරනවා. විනාඩියක්වත් කථා කරන්නේ නැහැ. ඇයි? විනාඩියට රුපියල් හතරක් කැපෙනවා. විනාඩිය පැන්න ගමන් අටක් කැපෙනවා නේ. පොඩ්ඩ පොඩ්ඩ තමයි කථා කරන්නේ. සිම් එක පරිස්සම් කරනවා.
ඒ හින්දා මේ සිත් වලට දරාගැනීමේ ධාරිතාවක් තියෙනවා.

ඒ ධාරිතාවට ගැලපෙන විදිහට තමයි තොරතුරු දාන්න ඕන. අපේ පාරමිතා වලට දරාගන්න පුලුවන් හැකියාවට තමයි ඒ බර උසුලන්න ඔනේ.


‘මම පින්ඩපාතේ යන භික්ෂුවක්!’ කියලා හිතනවා නම්, මගේ සක්කාය දිට්ඨිය, මගේ ආත්ම දෘෂ්ඨිය
‘භික්ෂුව’. භික්ෂුව කියලා දෘෂ්ඨීයක් ඇවිල්ලා. ‘පිණ්ඩපාතේ යන භික්ෂුව’ කියලා දෘෂ්ඨියක් හැදිලා.
මම සියලු දේවල් අත්හැරලා බුදුන් සරණ යන ශ්‍රාවකයෙක් කියලා මම හිතනවා නම්, ‘බුද්ධ ශ්‍රාවකයා’ කියන එක තමයි මගේ සක්කාය දිට්ඨිය. ඒක කැඩෙනකම් එයා රහත් වෙන්නේ නැහැ.


මම කුමක් සිතනවාද, ඒක මගේ සක්කාය දිට්ඨිය. ඒක මම වෙනවා. මගේ සක්කාය දිට්ඨිය තීරණය කරන්නේ, ආත්ම දෘෂ්ඨීය, සත්ව ස්වභාවය, පුද්ගල ස්වභාවය තීරණය කරන්නේ මගේ මනස. මගේ සිත. මගේ චෛතසිකය.
“එහෙනම් සක්කාය දිට්ඨිය නැතුව හිතුවොත්?”
හරිම ප්‍රඥාවන්තයි කවුද ඒ ප්‍රශ්නේ ඇහුවේ? කවුරුහරි ඇහුවා ඒ ප්‍රශ්නේ.
“ස්වාමිනී, සක්කාය දිට්ඨිය තොරව ඇහුවොත්?”
“සක්කාය දිට්ඨිය ගැලවෙනවා!”


තියෙනවා කියලා හිතුවොත් තියෙනවා, නෑ කියලා හිතුවොත් මොකවත් නැහැ. හරි සරලයි.
‘මා සන්තකයේ මේ මේ දේවල් ඇත’ කියලා කිව්වොත් ඒවා ඇත. සංසාරයේ හැමදාම ඒ බොධිසත්වයා සන්තකයේ ඒවා ඇත. ඒවා එයාගේ වත්කම්.


‘කිසිම නාමයක රූපයක අයිතිය මට නැත. සියළු දේවල් කුසලයට ලං වෙනවා අකුසලයට අහිමි වෙනවා, ඈත් වෙනවා.
එහෙනම් ලැබන එක කුසලයට අයිතියි. නොලැබන එක, අහිමි වෙන එක අකුසලයට අයිතියි. කුසල් අකුසල් වල ක්‍රියාකාරිත්වයක් මේ එකක් වත් මගේ කටයුත්තක්වත්, මගේ අයිතියක්වත්, මගේ වත්කමක්වත් නෙවෙයි.
එයාට මොනවද තියෙන්නේ, මොකවත් නැහැ.
එහෙනම්, ‘මම යනු සත්ත්වයෙක් පුද්ගලයෙක් නෙවෙයි’ කියලා ඇහුවොත්, අන්න එතකොට දෘෂ්ඨියක් හැදෙනවාලූ, ඒක ‘සම්මා දෘෂ්ඨියක්’.


ඒකත් ආත්මය පිලිබඳ දෘෂ්ඨියක්, සත්‍යයෙන් තොර දෘෂ්ඨීයක්.
එහෙනම් ආත්ම දෘෂ්ඨියෙන් තොරව පුද්ගලයෙක් සත්ත්වයෙක් නැහැ කියන මානසිකත්වය තමයි නිතරම මම හිතන්න ඕන. එහෙම හිතන්න හිතන්න මං තුළ තියෙන සත්ත්ව ස්වභාවය අතුරුදහන් වෙලා, පුද්ගල ස්වභාවය අතුරුදහන් වෙලා, මට තියෙන වටිනාකම නැති වෙලා, මම නැති වෙලා ක්‍රියාවලියක් විතරක් තියෙනවා.
සංඥා සංස්කාර එකතුවෙලා, කුසල් අකුසල් එකතුවෙලා කයක් හැදුවලු, සතර මහා භූතයා ඒ තොරතුරු වලට සාපේක්ෂව ගණුදෙනු කරනවාලු.


මේක තේරුම් ගන්නේ නැතුව මට වුනා, මට කළා, අසුවලා දුන්නා, අසුවලා ගත්තයි කියලා මම එකක් නඩත්තු කරනවාලූ. ඒ දෘෂ්ඨිය නිසා ඒ කර්ම ඉවර වෙන්නෙත් නැතිලු, ගෙවන්න ක්‍රමයකුත් නැතිලු, ගැලවෙන්න ක්‍රමයකුත් නැතිලු ඒකට ‘භවය’ ‘සසර’ කියලා වචනයක් දුන්නාලු.


කර්ම එකතු වෙලා කය හැදුවා, සතර මහා භූතයත් එක්ක ගණුදෙනු කරලා ඒවා ගෙවෙනවා, ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ.
මම කියන්නේ සත්වයෙක්, පුද්ගලයෙක් නෙවෙයි. කර්ම වල ක්‍රියාකාරිත්වයක්. කර්මයේ ක්‍රියාකාරිත්වයක්. කුසල් අකුසල්, දුක සැප. එච්චරමයි. එතනින් එහාට හිතන්නේ නැහැ. එහෙම හිතුවොත් සක්කාය දිට්ඨියට ඉන්නවත්, පෙනෙන්නවත්, මතුවෙන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.


අද දවසේ චින්තනය, මම කියන්නේ ‘කුසල් / අකුසල්’ කියන කර්ම වල එකතුවක්, සතර මහා භූතයා විසින් ගණුදෙනු කරන.
ක්‍රියාවලියක් තියෙනවා පුද්ගලයෙක් සත්ත්වයෙක් නැහැ.
මේක සිහි කරන්න, මේ මානසිකත්වයෙන් ගණුදෙනු කරන්න.

තෙරුවන් සරණයි.

Scroll to Top