පිණ්ඩපාත ගුණ පාරමී
සිල් ආරක්ෂා කරනකොට සීලයට සාපේක්ෂ ගුණ තියෙනවා, ඒවා අපි තුළ ප්‍රගුණ වෙනවා.
මාර්ගය වඩන කොට මාර්ගයට සාපේක්ෂව ගුණ තියෙනවා, ඒවා අපි තුළ ප්‍රගුණ වෙනවා.
භාවනා කරන කොට භාවනාවට සාපේක්ෂව ගුණ තියෙනවා, ඒවා අපි තුළ ප්‍රගුණ වෙනවා.
වත් පිළිවෙත් කරන කොට ගුණ තියෙනවා, ඒ ගුණ ටික පිරෙනවා. කවදාහරි දවසක වත් නතර කෙරුවොත් දැනගන්න වත් සම්බන්ධ සියළුම ගුණ අපි තුළ පිරිලා ඉවරයි. ඒ වත් වලින් දැන් වැඩක් නැහැ.
ඒ වගේ තමයි පිණ්ඩපාත චර්යාවේ වඩිනකොට, පිණ්ඩපාතයට කියලා ගුණ තියෙනවා. බහු වචනයක්, ‘ගුණය’ නෙවෙයි ‘ගුණ’. ගුණ තියෙනවා, පිණ්ඩපාතයේ වඩිනකොට ඒවා පිරෙනවා.
අපේ ජීවිතවල පුංචි කාලේ අපිටත් සිකුරාදා දවසේ පිණ්ඩපාතය දීලා තියෙනවා, නිශ්ශබ්ද සීලය එදාට. කතා කරන්න බැහැ එදාට. පිණ්ඩපාතයේ කොහොමත් කථා කරන්න බැහැනේ, පාත්තර නැහැ අපිට පොඩි තැටියක් තියෙන්නේ. අරගෙන ගෙයක් ලඟට ගිහිල්ලා හිටගෙන ඉන්නවා.
සමහර අයට ඉතින් හරි ලැජ්ජයි. ඉල්ලාගන්න මිනිස්සු වගේනේ, යාචකයෙක් වෙලානේ. එතකොට තමයි අපි දැනගත්තේ, යාචකයා කියන යටහත් පහත්කම හැදෙන්න නම් පිණ්ඩපාතයේ යන්නම ඕනේ.
මම රජ කෙනෙක් නොවෙයි, මම මහා ලොකු පවුල් වලින් සිටු පවුල් වලින් ආපු කෙනෙක් නොවෙයි. මම යාචකයෙක්. යාචකයෙක් කියන ඒ යටහත් පහත් කම හැදෙන්න නම් යාචනය කරන්න ඕනේ. අන්න ගුණය.
අපිට ඕන දේ හදාගෙන කාලානේ අපි පුරුදු වෙලා තියෙන්නේ. කඩවල් වලට ගිහිල්ලා අපිට ඕන දේ තමයි ඕඩර් කරන්නේ. හම්බෙන දේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒ හම්බෙන දේට සැනසෙන්න මම දක්ෂ වෙනවා.
අද කැකිරියි, වට්ටක්කයි. බොහොම සංතෝසයි, සැනසෙනවා.
අද පරිප්පුයි , මිරිස් කරලයි. සංතෝසයි.
අද කුරක්කන් තලප විතරයි. සංතෝසයි.
අපිට අපේ ජීවිත වල එකම එක ගෙදරකින් මඤ්ඤොක්කා කෑලි තුනකුයි, ලුණු මිරිස් පොඩ්ඩකුයි හම්බවෙලා තියෙනවා. බුදු රජාණන් වහන්සේගේ පූජාවට එක කැල්ලක් තිබ්බාම කෑලි දෙකයි තියෙන්නේ.
කුරුල්ලෙකුත් ගහේ බලන් ඉන්නවා, අපට කන්නත් මදි .
ඕනම දෙයක් දරාගන දරාගෙන ඉදිරියට යන්න පුළුවන් පෞරුෂත්වය, ඒක පිණ්ඩපාත ගුණයක්.
ලද දෙයින් සැනසෙන ගුණය පිණ්ඩපාත ගුණයක්.
කාය සංවරය, ගහලවත් හදන්ඩ බෑ, අර පිණ්ඩපාතයේ වේගයෙන් ගියාම මොකුත් හම්බවෙන්නේ නෑනේ, බෙදන කම් ඉන්නත් ඕනෑ.
ගෙයින් ගැට යන්නත් ඕනෑ. හෙමින් ගියොත් විතරයි පිණ්ඩපාත සාර්ථක. නැත්නම් පිණ්ඩපාතය අසාර්ථකයි. එතකොට ඒ උත්තමයා වඩිනවාලු නෙලුම් මල් උඩ පය තියලා වැඩම කරපු මහා බෝසත් ඒ සිදුවත් කුමරා වාගේ, බොහොම ලස්සනට පසිඳුරන් ඇත්තෙක් විදියට බොහෝම සාන්ත දාන්තව වැඩම කරනවා. උන්වහන්සේ දන්නවා පැයට කිලෝමීටර අසූවට ගියර් එක දාන්න පුළුවන්, දැම්මොත් ඇල්වතුර විතරයි. ඒ අය ගේන්න කලින් මම ගිහිල්ලනේ ඊතලය වගේ…
දැන් ම මේ කාය සංවරය කවුද හැදුවේ? පිණ්ඩපාතය හැදුවේ…
එහෙනම් පිණ්ඩපාතය කියන්නේ අපේ ගුරුවරයෙක්. අපිව සෝදුපත් කරන අපේ ආචාර්යයන් වහන්සේ. අපේ චරිතය නිවැරදි කරන, අපේ අඩුපාඩු දුර්වලකම් ගොඩක් නිවැරදි කරන ධර්මතාවයක් පිණ්ඩපාතය කියන එක.
බලාපොරොත්තු රහිතව පිණ්ඩපාතය යන්න අපි දක්ෂ වුණේ නෑ, අද ටිකක් මිරිසට තිබුනොත් හොඳයි, අද කිරට තිබුණොත් හොඳයි, අද නම් ටිකක් ඇඹුල් ඕනේ සෙම ගතියක් තියෙනවා සී විටමින් ඕනේ, ඇඹුලක් මොනවහරි, අඹ ඇඹුලක්, ඇඹරැල්ල ඇඹුලක්, බලාපොරොත්තු වෙනවා..! බලාපොරොත්තු රහිතව ජීවත් වෙන්න අපට ඉගැන්නුවේ පිණ්ඩපාතේ නෙමෙයිද?
පහසුවෙන් ජීවත් වෙන්න ඉගැන්නුවේ පිණ්ඩපාතය නෙමෙයිද?
අපිට සරල ජීවිතයක් දුන්නෙ පිණ්ඩපාතය නෙමෙයිද?
සියයට හැටක් අපේ මාන්නය කැඩුණේ පිණ්ඩපාතයෙන් නෙමෙයිද?
ඉවසීම.., ගෙනල්ල දෙනකම් “ස්වාමීනි පොඩ්ඩක් ඉන්න” කියලා බත ඉදෙනකම් ඒ කට්ටිය එලියට එන්නෙ නෑ… ඒත් අපි හිටගෙන ඉන්න එපාය. ආරාධනා කෙරුවොත් වචනයක් කිව්වොත් එතනින් එහාට යන්න බෑ…
දෙනකම් එතන ඉන්නත් ඕනේ ඉවසීම අපිද පුරුදු කළේ? නෑ පිණ්ඩපාතය අපට ඉවසීමේ ගුණය දුන්නා. දරාගැනීමේ හැකියාව දුන්නා. දවස ගානේ මේ පිණ්ඩපාත ගුණ අපි පුරලා පුරලා අවුරුදු දහයක් පිණ්ඩපාත කරනකොට,
ස්වාමීනි මං රහත් වෙන්න මොනවද කරන්න ඕනේ කියන ප්‍රශ්නය මට අහන්න බෑ…
හේතුව ඒ වෙනකොටත් රහත් වෙලා. මගේ අඩුපාඩු දුර්වලකම් ඔක්කොම නිවැරදි වෙලා, හිතුවක්කාරකම් උඩඟු කම් මාන්නක්කාරකම් ඔක්කොම හුළඟට ගිහිල්ලා.
හදන්න මොකවත් ඉතුරු වෙලා නෑ ඉබේ හැදිලා. වත් කරන කොට, වත් වලින් ගුණ ටික ඇවිල්ලා පිණ්ඩපාතේ කරනකොට, පිණ්ඩපාත ගුණ ටික ඇවිල්ලා, භාවනා කරනකොට භාවනා ගුණ ටික මට ඇවිල්ලා. කමටහන් පුරුදු පුහුණු කරනකොට කමටහන් ගුණ ටික ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා, හැබැයි අයිතිය කියන්න මම ගිහිල්ලා. අන්න බලන්න මම නෑ…
ඔක්කොම ඇවිල්ලා, හැබැයි ඒවා ඔක්කොම මගේ කියලා කියන්න මම නෑ, මම කල් ඇතුව ගිහිල්ලා. කොච්චර ලස්සන ධර්මතාවයක්ද අපේ පැවිදි ජීවිතයේ අපි තුළ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ…
වඩනවා හැබැයි ඒකෙ අයිතිකාරයා මම නෙමෙයි. මම කල් ඇතුව දියවෙලා ගිහිල්ලා.
අර ගුණ වැඩෙන්න වැඩෙන්න ටික ටික මමත් දිය වෙලා, මමත්වය දිය වෙලා, මගේ වටිනාකම දියවෙලා.
පිණ්ඩපාතේ කියන්නේ ගුණ පාරමී. අප්‍රමාණ ගුණ වැඩෙනවා, අපිට මතකයි අපි පොඩි කාලේ අපිට ව්‍යායාමයක් දීලා තිබුණා පිණ්ඩපාත ගුණ සීයක් ලියන්න කියලා ගුරුවරයා දීලා තිබුනා.
ඔක්කොටම එකතු වෙලා සීයක් ලියන්න කියලා, විසි තුන්දෙනාම එකතු වෙලා දෙදාස් තුන්සීයක් ලිව්වා. ඒ පොත තාම තියෙනවා 2300ක් ලිව්වා. ගුරුවරයා විස්මයට පත් වුනා, “මෙච්චර ගුණ..?”
ඉවසීම, දරා ගැනීම, බලාපොරොත්තු රහිත වීම, අවංකකම, නිහතමානී කම, යටහත් පහත් කම, අසරණකම, තිසරණ කම, හැම එකක්ම ගුණ නේ… පිණ්ඩපාතේ යනව නෙමෙයි, මම ගුණ පුරන්න යනවා. පාරමී පුරන්න යනවා. මෙන්න මේ මානසිකත්වය නිතර සිහි කරන්න ඕනේ. දවසට අඩුම තරමේ ගුණ දහයක්වත් පිණ්ඩපාතයෙන් අපේ චරිතයට එකතු වෙන්න ඕනේ. මාසයට ගුණ සීයක් අපේ චරිතවලට එකතු කරගන්න ඕනේ. අපේ ජීවිතවල අඩුපාඩු අප්‍රමාණ පිණ්ඩපාතේදී මතුවෙනවා. ඒවත් නිවැරදි කරගන්න ඕනේ. දහම් කාරණා අවබෝධ වෙනවා. ඒවා අපේ විදර්ශනාවට එකතු කරගන්න ඕනේ. මිනිසුන්ගේ දුර්වලකම් අප්‍රමාණ පේනවා, ඒවා අපේ ජීවිතවල කවදාක්වත් නොකරන්න අධිෂ්ඨාන කර ගන්න ඕනේ. බලන්නකෝ, මම මාර්ගයේ නේ ඉඳලා තියෙන්නේ…
පිණ්ඩපාතයට මාර්ගයට බැස්සා, නමුත් මාර්ගයේ තමා ඉඳලා තියෙන්නේ…
ඒක තමයි මගේ මාර්ගය. ඒක තමයි මගේ මාර්ගය, වෙන්න මේ කරුණු කාරණා නිතරම සිහිපත් කරගෙන තමන්ගේ භික්ෂු ජීවිතය සාර්ථක කරගන්න මේ පිණ්ඩපාතය පාරමිතාවක් විදියට, ගුණයක් විදිහට පුරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
