දවසේ චින්තනය 11 – තීරණාත්මක අවස්ථාව

මේ සියලු දේවල් ‘විශ්වය’ විසින් කලින් තීරණය කරපු දේවල්. අන්න ඒ තීරණාත්මක අවස්ථාව හදුනා ගැනීම තමයි අද දවසේ චින්තනය.

මම අද දවසේ, පැවිදි භූමියේ පැවිද්දෙක් විදිහට සිටින්න ඕන කියන එක විශ්වය තීරණය කළා. අද මම පැවිද්දෙක් විදිහට පැවිදි භූමියේ වැඩ සිටිනවා. අද මම පොරවන්නේ දෙවුර, තනි උර, ගැටවටු, ඒකාංසු, ඒක විශ්වය තීරණය කරලා තිබුණා. දැන් මම දෙවුර වහගෙන සිටිනවා.

අද දවසේ මම පින්ඩපාතේ වඩිනවා කියන එක විශ්වය තීරණය කරලා තිබුණා. පාත්‍රය අත ඇතිව පින්ඩපාතයට මම සුදානම්.

දැන් කල්පනා කරලබලන්න, අපේ ජීවිත වල හැමදේම කලි​න් තීරණය වෙලා තියෙනවා නම්, අද දවසේ දානය විතරක් මම ද තීරණය කරන්නේ? අද මිරිසට ඕනේ, අද ඇ​ඹුලට ​ඕනේ, අද කිරට ඔනේ කියලා මම හිතුවට එහෙම ලැබෙන්නේ නැහැ.

කුමක් ලැබෙන්න විශ්වයෙන් තීරණය වුනාද, ඒක තමයි ලැබෙන්නේ. අද දවසේ මේ වෙනකොටත්, පාන්දර තුන වෙනකොට කට්ටියව අවදි කරවලා ඒ අය ල​​වා මට අවශ්‍ය දේවල්, මට සුදුසු දේවල්, මට ලැබිය යුතු දේවල්. හේතුවට අදාල ඵලය නිර්මාණය වෙලා ඉවරයි.

එහෙනම් මගේ පාත්‍රයට වැටෙන සෑම බත් ඇටයක්ම, මට ලැබෙන්න තිබිච්ච දේ. ඒ සෑම අවස්ථාවක්ම මට වෙන්න තිබිච්ච දේ. පේන දේවල් පෙන්න තිබිච්ච දේ. ඇහෙන දේවල් ඇහෙන්න තිබිච්ච දේ. දැනෙන්නේ, දැනෙන්න තිබිච්ච දේ.

‘එහෙනම් ස්වාමිනී මට මේ විදිහට හිතෙන්නේ?’ එහෙම හිතෙන්න මෙච්චර භව ගානකට පස්සේ අසුවල් භවයේ අසුවල් අවුරුද්දේ, අසුවල් කාලයේ අසුවල් වෙලාවේ එහෙම හිතෙන්න කළින් තීරණය වෙලා තිබුණා.

ඒ තීරණාත්මක අවස්තාව අපේ හැම ඉරියව්වක් තුළම, හැම ගණුදෙනුවක් තුළම ප්‍රඥාවෙන් දකින එක, ස්පර්ශ කරන එක තමයි අද දවසේ චින්තනය.

සියළු දේවල් කළින් තීරණය වෙලා ඒ විදිහට සිද්ධ වෙනවා.

 ‘ආර්ය අශ්ඨාංගික මාර්ගය’ බුදුරජාණන් වහන්සේ අපට දායාදයක් විදිහට පූජා කළා. රාහුල කුමාරයාට දායාදයක් දුන්නා වගේ, අපිටත් දායාදයක් දුන්නා, ආර්ය අශ්ඨාංඟික මාර්ගය. ‘මේක ටිකක් ගැළපෙන්නේ නැහැ මේක ටිකක් දුක් සහිත නම්, මෙන්න මෙක පාවිච්චි කරලා නිවැරදි කර ගන්න’

ඒකට හැඩගැහෙන්න පූලුවන්, ඉවසන්න පුලුවන්, ඒකට අනුගත වෙන්න පුලුවන්, ගෙවිලා යන්න පුලුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒකට අනුගත වෙන්න. බාර වෙන්න, ‘විශ්වයට බාර වෙන්න’. පො​ලීසියට, උසාවියට බාර වෙනවා වගේ, විශ්ව නිතීයට, විශ්ව ධර්මතාවයට බාර වෙන්න. පැවිදි කමට බාරවෙන්න. සීලයට බාර වෙන්න. සීලයට ඕන එකක් අපට කරන්න කියලා සීලයට බාරවෙන්න. සංවරකමට, ගුණධර්ම වලට බාර වෙන්න.

වරදින්නේ නැහැ. ඒවට අදාල විදිහට අපිට කටයුතු වෙයි.

අද දවසේ සිදුවන සියලුම දේවල් කලින් තීරණය වෙලා. අපිට වෙන්න ඕ​න දේවල්, සුදුසුම දේවල් දැනට සිදුවෙමින් පවතිනවා. ඒවා ප්‍රඥාවෙන් දැකලා සංතෝසයෙන් පිලිගන්න එක අද දවසේ අපි කරන්න ඕ​න වැඩේ.

ඒක තමයි අද දවසේ අපි පුරුදු කරන්න ඕ​න එක.

තෙරුවන් සරණයි.

Scroll to Top